බළපිටියේ මාදුගග අභය භූමියක් ලෙස ප්‍රසිද්ධියට පත්කරන ලද 2006 වර්ෂයේ සිට වසර 18 කට අධික කාලයක් එය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය කිරීමට කටයුතු කර නොමැති බවත් මාදුගග අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාල 2006 ජූලි 17 දිනැති 1454/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මාදුගග ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටා තිබෙන බවට වූ වරද නිවැරදි කිරීමට කටයුතු කර නොමැති බවත් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය මගින් කරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
එම ගැසට් නිවේදනය මගින් උපදෙස් ලබා දී ඇති පරිදි මාදුගගේ මායිම් සලකුණු කිරීම මෙන්ම අභය භූමිය නැවැරදිව සිතියම් ගත කිරීමද 2023 දෙසැම්බර් 31 දක්වා වසර 18 කට අධික කාලයක් සිදු කර නොතිබූ බවද අදාල විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාල විගණන මූල්‍ය ප්රකාශනයේ මේ බව සදහන් වේ.
සෑම ස්වභාවික රක්ෂිතයක් හා අභය භූමියක් වෙනුවෙන්ම මෙහෙයුම් සැලැස්මක් පිළියෙල කිරීම මෙන්ම වසර 05 කට වරක් එම සැලැස්ම ඇගයීමට ලක්කර අවශ්‍ය වෙනස් කම් සිදුකිරීම, කලයුතු වුවත් මිරිස්ස, කල්පිටිය, හික්කඩුව සමුද්‍රීය රක්ෂිත හා මාදුගග අභය භූමිය වෙනුවෙන් එවන් සැලැස්මක් පිලියෙල කර නොතිබූ බවද අදාල විගණන වාර්තාවේ සදහන් කර තිබේ.
සියළුම රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන විවිධ සේවාවන් සදහා දැනට අය කරනු ලබන ගාස්තු 15% කින් ඉහළ දැමිය යුතු වුවද වන ජීවී දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සමුද්‍රීය රක්ෂිත හා අභය භූමිවල සංචාරක බෝට්ටු ලියා පදිංචි ගාස්තු 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය අවසානය තෙක් සංශෝධනය කිරීමට පියවර ගෙන නොතිබූ බවත් මුහුදු ක්ෂීරපායී සතුන් නැරඹීමට යන සෑම මගී යාත්‍රාවකම වනජීවී දෙපාර්තමේන්තුව විසින් පුහුණු කරන ලද මාර්ගෝපදේශකයෙකු සිටිය යුතු වුවත් මිරිස්ස තල්මසුන් නැරඹීම සදහා යන බෝට්ටු වල එවන් මාර්ගෝපදේශකයෙක් නොසිටි බවත් විගණන වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
ඕනෑම ජාතික රක්ෂිත භූමියක මායිමේ සිට සැතපුම් 01 ක දුරක් ඇතුලත යම් ඉදිකිරීමක් කරන්නේ නම් වනජීවී අධ්යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබාගත යුතු වුවත් හික්කඩුව සමුද්‍රීය උද්‍යානයේ ප්‍රවේශ මාර්ගය අවහිර වන පරිදි වෙරළ කලාපය තුල අනවසර වෙළෙද සැල් හා සංචාරක විවේකී ස්ථාන ඉදිකර තිබූ බවද අදාල විගණන වාර්තාවේ සදහන් වේ.
මෙම ගැටළු ඉක්මනින් නිවැරදි කරන ලෙසත් එසේ නොකල හොත් සමුද්‍රීය රක්ෂිත හා අභය භූමි වල සුන්දරත්වය අහිමිව ඒවා විනාශ වී යා හැකි බවත් එයට අමතරව රජයේ අදායම් ද අහිමි වී යන බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයෝ පෙන්වා දෙති.
තමිඳු මදුසර ලියනගේ