සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම මෙරට වසර 03ක සිට ඒකාකාරී මට්ටමේ පවතින බවත්, මාධ්‍ය වාර්තාකරණය සිදු කරන ආකාරය අනුව සියදිවි හානි කර ගැනීම වැඩිවන බවට පෙනී ගොස් ඇති බවත් මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි.
එහි සභාපති, විශේෂඥ වෛද්‍ය සජීවන අමරසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙරට තුළ වසරකට සියදිවි නසා ගැනීම් 3,000 – 3,500 ත් අතර සිදුවන බවයි. ඒ අනුව එය දළ වශයෙන් දිනකට 08 ක් පමණ වන බවද ඔහු සඳහන් කර සිටී. මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“සියදිවි හානිකර ගැනීම ලොව පුරා සිදුවන දෙයක්. 2021 වසරේ ලොව පුරා හත්ලක්ෂ විසිදාහක් සියදිවි හානිකරගෙන තිබෙනවා. වයස අවුරුදු 15 -29 වයස් සීමාවේ මරණවලින් 03 වැනි තැන සියදිවි හානි කර ගැනීමට හිමිව තිබෙනවා. 1990 ගණන්වල ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් අතරින් ඉහළින්ම සිටියා.
නමුත් 1190 මැදභාගයේ සියදිවි නසා ගැනීම් පිළිබඳව ජනාධිපති කොමිසමක් ස්ථාපිත කිරීමත් සමග සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාව අඩු වුණා. 2021 වසර වන විට ලෝකයේ 21 වැනි තැන ශ්‍රී ලංකාවට හිමිවෙනවා. සියදිවි හානිකර ගැනීම අඩු වුවත්,සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම ලංකාවේ අඩු වී නැහැ. ලංකාවේ සියදිවි නසා ගැනීම පසසුගිය වසර තුනෙහි එක මට්ටමක පවතිනවා. සියදිවි හානි කර ගැනීමට එක් හේතුවක් කිව නොහැකියි.
ප්‍රධාන වශයෙන් මානසික රෝග තත්ත්වය හා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතු වෙනවා. සියදිවි හානි කර ගැනීමට උත්සාහ ගන්නා සියල්ලෝම මානසික රෝගීන් නොවෙයි. ආවේගශීලී බව,ප්‍රශ්නවලට මුහුණදීමේ නොහැකියාව විශේෂයෙන් තරුණ ප්‍රජාව සියදිවි හානි කර ගැනීමට හේතු වෙනවා”.