මාතලේ දිස්ත්‍රික්කය තුළ නව සුරාසල් විවෘත කිරීමට ඉඩ නොදෙන බවට මාතලේ සාසනාරක්ෂක බල මණ්ඩලයට සමස්ත ලංකා සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් ගෙන ආ යෝජනාව ඒකඒකමතිකව සම්මත කෙරුනි.
මුගුණුවෙල අනුරුද්ධ හිමි විසින් එම යෝජනාව ගෙන එනු ලැබුවේ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාතලේ සාසනාරක්ෂක බල මණ්ඩලයේ වාර්ෂික මහ සභාව රැස්වූ අවස්ථාවේදීය.
මාතලේ පොලිස් ස්ථානයට යාබද දිය බුබුල ප්‍රදේශයේ නව සුරාසැලක් විවෘත කිරීමට සූදානම් වන බවත් එම ස්ථානයට යාබදව පාසල් කිහිපයක් හා ආගමික ස්ථාන පැවතීම හේතුවෙන් මෙම ස්ථානයේ සුරාසැලක් විවෘත කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස සාසනාරක්ෂක බල මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම යෝජනාව මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් විසින් සාසනාරක්ෂක බලමණ්ඩලයට ගෙන එනු ලැබීය.
මෙහිදී බුද්ධ ශාසන ආගමික කටයුතු ආ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ තම රජයේ ප්රතිපත්තියද අලුතින් මත්පැන් බලපත්‍ර ලබා නොදීමට හා මේ වනවිටත් මාතලේට අවශ්‍යය සුරාසෙල් ප්‍රමාණයක් පවතින බැවින් නව සුරාසැල් විවෘත කිරීමට තමන්ද එකඟ නොවන බවයි .ඒ සඳහා මහජන නියෝජිතයකු ලෙස තමන්ද මැදිහත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට මාතලේ දිසාවේ මල්වතු ප්රාර්ථයේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සීලරත්න හිමිපාණන් සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.
මහේෂ් කීර්තිරත්න