ත්‍රස්තවාදී තර්ජනවලට නිරන්තරයෙන් ලක්වී සිටින තමන්ගෙන් ඉවත් කර ඇති ආරක්ෂක සංචිතය යළි ලබාදීමට රජයට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම්කරු සම්බන්ධයෙන් විශේෂඥ ආරක්ෂක කමිටුව සිදුකළ ආරක්ෂක ඇගයීම් වාර්තාව අනුව ආරක්ෂක සංචිතය යළි ඔහුට ලබා නොදීමෙන් පෙත්සම්කරුට කිසිදු ආකාරයක අගතියක් හෝ මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවන හෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි කියමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
ආරක්ෂක සංචිතය ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනුකොට ඇති පෙත්සමේ උත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් ඇතු`ථ අමාත්‍ය මණ්ඩලය, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබි්ර මහතා කරුණු දක්වමින් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ වරප්‍රසාද සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නිසා නොවන බවත් හිටපු ජනාධිපතිවරයාගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමේ මූලික අරමුණකින් යුතුව බවත් කීය.ජනාධිපති නීතිඥ අලි සබි්ර මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද කීය.
ගණේමුල්ලේ සංජිව වැනි පාතාල නායකයන්ටත් ජීවිත ආරක්ෂාව සපයාදී තිබුණා. එපමණක් නොව කැරලි දෙකක් මෙහෙයවු විජේවීරගේ පවුලේ අයට වසර 32ක් පුරා රජයෙන් ආරක්ෂාව සැලසුවා.
කොටි සංවිධානය පරාජය කිරීමට නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට නිරන්තරයෙන්ම තර්ජන එල් වී තිබෙනවා. එපමණක් නොවේ ‘වැඩිය කෙදිරි ගෑවත් ඉතුරු ආරක්ෂකයන් හැටදෙනාත් ඉවත් කරනවා’ කියා රටේ වත්මන් ජනාධිපතිවරයා ඔහු සම්බන්ධයෙන් දරුණු ප්‍රකාශයක් කර තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය බොහෝ රටවල තවමත් ක්‍රියාත්මක වෙනවා. වෙනම රාජ්‍යයක් පිහිටවීමේ ආකල්පයත් ඔවුන් අතහැර නැහැ. විශේෂයෙන්ම කැනඩාවේ පෙළ පොත්වලට පවා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අදහස් ඇතුල් කර තිබෙනවා. ඉතින් මෙවැනි තත්වයක් තුළ මගේ සේවාදායකයා ජීවීත ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුවකට මුහුණ දෙනවා.
මගේ සේවාදායකයා මැලේසියාවේ ගිය අවස්ථාවලදීත් එහි එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් වලින් බේරි ආවේ ඉතා අපහසුවෙන්. තම සේවාදායකයාගේ ආරක්ෂාව ඉවත් කිරීම හුදු පළිගැනීමේ චේතනාවෙන් කළ දෙයක්. මෙවැනි ක්‍රියාවල්වලට එරෙහිව මැදිහත්වීමේ බලයක් අධිකරණයට තියෙනවා.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳ විශේෂඥ ආරක්ෂක කමිටුවේ තක්සේරුව සඳහන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
යම් දෙයක් වු පසු ඒ පිළිබඳ මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පලක් නෑ. හොඳම උදාහරණය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, ඒවාගේම ආර්ථික අර්බුදය, මේවාට මුලින්ම පියවර ගතයුතුව තිබුණත් රජය කිසිඳු පියවරක් ගත්තේ නැහැ. මගේ සේවාදායකයාට තර්ජන එල්ල වී ඇති බවට ඔහු බාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා වාර්තාවක්දී තිබියදීයි ඔහුගේ ආරක්ෂාව ඉවත් කළේ.
2015 වසරේ මගේ සේවාදායකයාට අඛණ්ඩව ආරක්ෂාව ලබාදුන්නා. 2020 වසරේදී අගමැති වූ පසු ඔහුගේ ආරක්ෂාව වැඩි කළා. ඒ සියල්ලටම කළේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතුවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්රිති පදමන් සුරසෙන මහතා. ‘පී නමය’ කියන්නේ කුමක්ද?ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා. මගේ සේවාදායකයාගේ ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා කරන ලද ආරක්ෂක. ඇගයිම් වාර්තාව. ‘පී නමය’ වාර්තාව අනුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්න.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් මෙසේ පැවසීය.
පෙත්සම්කරු සම්බන්ධයෙන් ආරක්ෂක විශේෂඥ කමිටුව සිදුකළ ආරක්ෂක ඇගයීම් වාර්තාව අධිකරණය ඉදිරිපත් කළා. ජනාධිපති ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් කමිටුව සමන්විතයි. පෙත්සම්කරුගේ ආරක්ෂාව පිළිබඳ කමිටුව නිරන්තරයෙන් ඇගයීමට ලක්කර තියෙනවා. පෙත්සම්කරු අගමැති තනතුරේ සිටියදී පවා ඔහුගේ ආරක්ෂා පිළිබඳ ඇගයීම් කළේ මෙම කමිටුවයි.
හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස, දියවඩන නිලමේ ආදි ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇගයීම් කරන්නේ මෙම කමිටුවයි. ආරක්ෂක තර්ජන අනුවයි කමිටුව ඇගයීම් කරන්නේ. කිසිවෙකුටත් විශේෂත්වයකින් යුතුව සලකන්නේ නැහැ.
එම තත්වයය අනුව පෙත්සම්කරුට කිසිදු ආකාරයේ අගතියක් හෝ ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නැහැ. ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. එමනිසා පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන්න.
දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පෙත්සම විභාගට නොගෙනම ප්‍රතික්ෂේප කළේය.පෙත්සම්කාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිබති නීතිඥ අලි සබි්ර මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටියේය.