මහනුවර පොලිස් ස්ථානයට අනුබද්ධිත බහිරව කන්දේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ භෝජනාගාරයේ සේවයේ නිරතව සිටි කම්කරුවෙකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන සිදුකළ පුළුල් විමර්ශනයකදී මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ කුඩු ජාවාරමක සුල මුල හෙළිවෙමින් තිබෙන බව පොලීසිය කියයි .
මහනුවර බහිරවකන්දේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ භෝජනාගාරයේ කම්කරුවෙකු වශයෙන් සේවය කළ එම පුද්ගලයා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු එම හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා මුදල් තැන්පත් කළ බව කියන බැංකු ගිණුම උසාවි නියෝගයක් මත පරීක්ෂා කිරීමේදී එම මත්කුඩු ජාලයේ තොරතුරු හෙළි වෙමින් තිබේ.
අදාල බැංකු ගිණුමේ රුපියල් හයකෝටි දාහත් ලක්ෂයක (617,00000.00) මුදලක් සංසරණය වී ඇති බවට අනාවරණය වීමෙන් පසු මහනුවරින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ .
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරා ඇති පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එම සැකකරු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
එම මත්කුඩු ජාලය ඩුබායි රාජ්‍යයේ සිට ක්‍රියාත්මක බවට කරුණු අනාවරණය වී ඇති බව පවසන පොලිසිය ඉදිරියේදී එම මත්කුඩු ජාලයේ මහ මොලකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය කියයි.