දිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරාගෙන චැසි සහ එන්ජින් වෙනස්කර මුහුණු පොත ඔස්සේ අලෙවි කළ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික වටිනා යතුරුපැදි තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරුවන් සමග යතුරුපැදි 19ක්, ලියාපදිංචි අංක තහඩු 14 ක් පොලිස් භාරයට ගෙන ඇත.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිසිවලට වාර්තා වි තිබූ යතුරුපැදි සොරකම් දෙකක් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී නුගේගොඩ තලපත්පිටිය,පන්සල පාර නේවාසිකාගාරයක රැඳී සිටි පුද්ගලයෙකු යතුරුපැදි තුනක් සහ ලියාපදිංචි අංක තහඩු අටක් සමග අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් වැලේ සුල මුල අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ගම් ප්‍රදේශය වන ගාල්ල කලහේ නිවස තුළ සඟවා තිබූ සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් සහ ලියාපදිංචි අංක තහඩු හයක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
එම සැකකරු කුරුඳුවත්ත පොලිසිය ස්ථානය වෙත ඉදිරිපත් කර විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින හතක රැඳියුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම මහා පරිමාණ යතුරුපැදි සොරකම් වලට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු තඹුත්තේගම හා වෙන්නප්පුව ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.
එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කුරුඳුවත්ත බම්බලපිටිය කොටුව පිටකොටුව වැලිකඩ මහරගම හා ගාල්ල ප්‍රදේශවලින් සොරා ගත් යතුරුපැදි 19 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එම යතුරු පැදි වල එන්ජින් හා චැසි අංක තඹුත්තේගම සහ වෙන්නප්පුව ප්‍රදේශවල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුද සම්බන්ධ කරගනිමින් වෙනස්කර කූට ලේඛන සකසා මුහුණු පොතේ දැන්වීම් පළ කර අලෙවි කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
මෙම සංවිධානාත්මක ජාවාරම සඳහා තවත් පුද්ගලයන් කීප දෙනෙකු සම්බන්ධ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති අතර එම පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.