"වන අලි ප්‍රශ්නෙට රජයට විසදුම් දෙන්න බැරිනම් අපිට විසදුම් ගන්න තුවක්කු ලබා දෙන්න. අපි අලි ප්රශ්නය විසද ගන්නම්. අඩු ගානේ ගමකට තුවක්කු 05 ක් වත් ලබා දෙන්න" යැයි මහවිලච්චිය ගොවි ජනපදයේදී ගොවීහු පවසති.
අන්දර ගස්, වෙනත් ගස් අලින් මීට පෙර ආහාරයට ගත් බවත් මේ වන විට වල් අලි පළතුරු කන තත්ත්වයට පත්ව ඇති බවත් සවස 04-05 වෙන විට මුලු විල්පත්තුවේම ඉන්න අලි ගම්මාන කරා පැමිණෙන බවඳ ගොවීහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා ගොවීන් අතර පැවති හමුවකදී එම ගම්මානයට පවතින වන අලි තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගොවීන් තව දුරටත් මෙසේද කීය.
“ වැස්ස පෑව්වම, ජනවාරී පෙබරවාරී වෙන කොට අනිවාර්යෙන්ම අලි ගෙවල් කඩන්න පටන් ගන්නවා.කන්න දෙයක් නෑ, වේලෙනවානේ.අපේ වතු වල පොල් ගහක්වත් නෑ.
ඔය කියන විදිහට කෝටි ගානක් වියදම් වෙනවා කාණුවක් කපන්න.අඩි විස්සක් තිහක් ගැඹුරු ලිඳට වැටුණු අලියත් ගොඩ වෙන කොට ,මාස 03-04 ක් යන කොට අලි ඇවිල්ලා පස් තල්ලු කරලා ගොඩ වෙනවා.වැස්සට තවත් ගොඩ වෙනවා, අද වෙන කොට මේ රටේ අපි විදින දුක කියලා නිමක් කරන්න බෑ,
අපිට කන්න දෙන්න නැතිව ඉන්න කොට මේ මොනවද කරන්නේ, ඇත්තටම බොහෝම කණගාටුයි.දැන්නම් පුදුමාකාර අප්පිරියාවක් වෙලා තියෙන්නේ.මේ වගේ අසහනයක් දුන්නේ නෑ.රෑතිස්සේ එළි වෙනකම් දුක් විදිනවා, උදේට ගිහින් වෙලේ කොටන්නේ කොහොමද? කවුද හාල් හුන්ඩුවක් ගෙනත් දෙන්නේ, කවුද සීනි ටිකක් ගන්න සල්ලි දෙන්නේ?
මේ ලෝකයම ජීවත් වෙන්නේ ගොවියා නිසා.හැබැයි ගොවියට අද මොකද වෙලා තියෙන්නේ,ගොවියා ගැන කථා කරන්න කෙනෙක් ඉන්නවාද? අපිට සුරසැප ඕන නෑ.අපිට ජීවත් වෙන්න දෙන්න, අපේ දරුවෝ ගැන මොනවා හිතන්නද අපි දැන්.අවුරුදු 40-50 ක් ගිය පොල් ගහ කඩලා දානවා නම්, අපි කාගෙන්වත් අත පෑවේ නෑ, රජයෙන් ඉල්ලුවේ නෑ, අපේ මහන්සියෙන් මේ ගොවිතැන් කරන ගොවියෝ ජීවත් වුණේ, හැබැයි දැන් මගේ වත්තේ ගෙඩි හැදෙන්න පීදිලා තියෙන පොල් ගස් 10 ක් කඩලා, කුඹුර ගන්න දෙයක් නෑ, අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ,මේ අහිංසක ගොවියෝ ස්ට්‍රයික් කරන්නේ, සල්ලි වැඩියෙන් දීපල්ලා කියලා ඉල්ලන්නේ නෑනේ,ගොවියෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටවත් යන්නේ නෑ කෑ ගහන්න.
තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නේ,ගොවියට ජීවත් වෙන්න තැනක් නෑ. රෑ තිස්සේ නිදි මරනවා.දවල්ට වැඩක් කරන්න බෑ. රෑ -එළිවෙනකම්ම භයෙන් ගැහි ගැහී ඉන්නේ, රෑ 6-7 වෙනකොට වතු වල අලි.මගේ වත්තේ අඹගස් 20 ක විතර ගෙඩි එක රැයෙන් අලි කෑවා.කාටද මේවා කියන්නේ, කවුද මේවාට වන්දි ගෙවන්නේ.
කරන්න තියෙන්නේ එකම දෙයයි, මහ රෑ බඩගාගෙන මිනිස්සු මරන්න ආව කොටිත් පන්නා ගත්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අදටත් පඩි ගෙවනවා, ඒ අයටත් පඩි ගෙවන ගමන් ආයේ කෝටි ගණන් වියදම් කරනවා.සිවිල් ආරක්ෂක බංකර් දැම්මා නම් අලි ගමට එන එක නවත්වන්න පුලුවන්. නැති වුණොත් මේ රටම ඉවරයි.මේ නැති වෙන්නේ අනාගත පරපුරේ සම්පත්, අපි අපේ දරුවෝ ගැන හිතලා ජීවත් වෙනවා.මේ ගමෙන්වත් මේ ගැන කිව්වා කියලා ජනාධිපතිතුමන්ට දන්වන්න.
මේ අලි ප්රශ්නය බේරන්න ඔබතුමන්ලාට වියදම් කරන්න බැරි නම් අපි සල්ලි දීලා ගන්නම් අපිට තුවක්කු දෙන්න, මට 84 යි වයස, මම හොරොව්පතානේ කලින් ජීවත් වුණේ, ඒ කාලේ මීට වැඩිය අලි හිටියා, කුළු හරක් හිටියා.හැබැයි අපේ ගොවිතැන් කෑවේ නෑ,අපි බේර ගත්තා, අපි දන්නවා බේරගන්න විදිහ, අඩුම තරමේ පස් දෙනෙකුට තුවක්කු 05 ක් දෙන්න, සතියක් ඇතුළත අපි අලි නවත්තනවා.
විසදුම් දෙකයි තියෙන්නේ, එක, අර මහ ගස් වලට කම්බි ඇදලා සිවිල් ආරක්ෂක මුර පොලක් දාලා දෙන්න,ඒ එකක්වත් බැරි නම් අපේ ගමට තුවක්කු 05 ක් දෙන්න අපි අලි නවත්තා ගන්නම්,අපි පොඩි කාලේ නවත්ත ගත්තා, අපිට නවත්වන්න පුලුවන්, ඔබතුමන්ලාට කරන්න බැරි නම් අපි නවත්තන්නම්, හිරේ දැම්මත් කමක් නෑ අලින්ට වෙඩි තියන්න සිද්ධ වෙනවා, මාව හිරේ දාන්න යැයි ” ඔහු එහිදී පැවැසීය.
"ඇමතිතුමත් එක්කත් කථා කරලා, ජනාධිපතිතුමන්ටත් යෝජනා කරන්නම් ඔබතුමන්ලා ඉල්ලන්නේ මේක කියලා.අපි හැමදාම ඇවිත් ගමට නොකිව්වට ඔබතුමන්ලාගේ ඡන්දයෙන් පත් වෙච්ච අය විදිහට අපි මේ ප්‍රශ්න කථා කරනවා.ඔබතුමාලා දකින්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ, මම ගිය සැරේත් ඇමතිතුමා එක්ක කථා කළා මේකට මොකක් හරි ස්ථිර විසදුමක් හොයා ගන්න ඕන කියන එක.
ඇමතිතුමා කිව්වේ අලුතින් රැකියා ලක්ෂයට ගත්ත අයත් අලි වැටට දානවා, ඒ ගොල්ලත් කරන්න පුලුවන් හැමදේම කරනවා කියලා.කරනවා කිව්වට අපිට පේනවා ඔබතුමන්ලාටනේ මේක දැනෙන්නේ,අපි සැලසුම් හදනවා, කරනවා කිව්වට හැමදාම බුදිය ගන්නේ භයේ නම් , හැමදාම වගාව හානී වෙනවා නම් ඔයගොල්ලන්ට හිත හැදෙන ප්‍රථිපලයක් ලැබිලා නෑ,ඒ නිසා මේ කාරනාවත් කථා කරලා, කොහොම හරි ඉක්මනට සුදුසු විසදුමක් ගේමු.ජනාධිපතිතුමන්ටත් යෝජනා කරන්නම් ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ මේ විදිහට කියලා" යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහිදී ගොවීන් අමතා පැවැසීය.
සිඩ්නි රුවන්
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_4c7461789f.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ae029e5a73.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_914b7da9ca.jpg)