මෙරට සිංහල සහ මුස්ලිම් ජනතාව සමගියෙන් හා සහජීවනයෙන් යුතුව ජීවත් වන බවත් ඔවුන් අතර මතභේද නිර්මාණය කර බෙදීම් ඇති කරනු ලබන්නේ ඇතැම් දේශපාලනඥයන් විසින් බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පලස්තීන, ඊජිප්තු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරු හමුවේ පැවසූහ .
මහා නා හිමියන් ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (17) පෙරවරුවේ තනාපතිවරුන් මහනුවරට පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය .
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහේයිර් එම් . එච්. ඩාර් සෙයිඩ් ඊජිප්තු තානාපති මජිඩ් මොහිදීන් නාෆි මොස්ලහ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාලිඩ් නසාර් සුලෙයිමාන් අල්අමේරි යන මහත්වරුන් මහනාහිමියන් බැහැදැකීමට පැමිණ සිටියහ .
මෙරටට මත්ද්‍රව්‍ය බහුලව ඇදී එනු ලබන්නේ ඇතැම් මුස්ලිම් රටවල් ඔස්සේ බැවින් ඒ සම්බන්ධව විශේෂ අවධානය අදාල රටවල් යොමු කළ යුතුව තිබෙන බවත් මත්ද්‍රව්‍ය හේතුවෙන් ජාති, ආගම් භේදයෙන් තොරව විශාල පීඩාවකට සමාජය පත්ව තිබෙන බවත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට වැට බැඳීමට මුස්ලිම් රටවල් අත්වැල් බැදගෙන කටයුතු කළ යුතුව තිබෙන බවද උන්වහන්සේ කීහ .
මෙරට සියළු ජන කොටස් බිම් මට්ටමේ ඉතා සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වන බවත් මහනුවර මෙන්ම රිදියගම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි ඉදි කර තිබෙන්නේ බෞද්ධ විහාරස්ථාන වලට අයත් ඉඩම්වල බවත් මහා නා හිමියෝ එහිදී තානාපතිවරුන් හමුවේ පැවසීය .
අරාබි කවුන්සලයට අයත් රටවල් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අගය කරන බවද මහ නා හිමියෝ එහිදී අවධාරණය කළහ .
ජාතියක් හා ගමක් හෝ ආගමික සිද්ධස්ථානයක් ඉලක්ක කර දියත් කරන ප්රචණ්ඩත්වය හෙලා දැකිය යුතු බවත් අරාබි කවුන්සලයේ රටවල් ජාතික ආගමික හා සහජීවනය වෙනුවෙන් කටයුතු කරන බවත් තානාපතිවරු එහිදී මහා නා හිමියන් හමුවේ පැවසීය . අරාබි කවුන්සලයේ රටවල් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධවද තානාපතිවරුන් මහනාහිමියන් දැනුවත් කළේය .