කප්පම් ගැනීම සහ පස් ජාවාරමට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයකු වන රොෂාන් ඉන්දික නොහොත් මන්න රොෂාන් නැමැත්තා සහ ඔහුගේ සහායකයකු පාදුක්ක තුන්නාන වෙන්දේසි වත්ත ඉඩමක සුඛෝපභෝගී ජීප් රථයක් තුළ අද (25) අලුයම වෙඩි තබා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ අනෙක් පුද්ගලයා ඉදිරිපත්තුව මූණමලේ ප්‍රදේශයේ පදිංචි බව කියන සුපුන් නිමෙශ් 30 නමැත්තෙකි.
ඝාතනයට ලක්වූ මන්න රොෂාන් නමැත්තා දැඩිව හොරයින් මත්ද්‍රවලට ඇබ්බැහි වූවකු වන අතර ඩුබායි සැඟව සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ලලිත් කන්නන්ගර නමැත්තා සමග සැකකරු දුරකථන මගින් පණිවිඩ හුවමාරු කරගෙන මත්කුඩු ඇණවුම් කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මත්කුඩු වෙනුවෙන් මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මත්කුඩු ලබා ගැනීමට යන ලෙස ලලිත් කන්නන්ගර නමැත්තාගෙන් මන්න රොෂාන් නැමැත්තාට ඇමතුමක් ලැබී ඇතැයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
ඒ වන විට මන්න රොෂාන් රැඳී සිට ඇත්තේ පූගොඩ නිරිපොළ බිරිඳගේ නිවසේ බවත් ඔහු නිවසින් පිටව යාමට සූදානම් වීමේදී ඇය එය වළක්වීමට උත්සාහ දරා ඇතත් මන්න රොෂාන් සිය සහායකයා සමග සුඛෝභෝගී ජීප් රථයේ නැගී පාදුක්ක තුන්නාන වෙන්දේසි ඉඩම කරා පැමිණීමේදී වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මන්න රොෂාන් රියදුරු අසුන තුලත් සහාය කියා ඉන් පිටතදිත් වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය කියයි.
මන්න රොෂාන් නමැත්තා මත්කුඩු ජාවාරම සිදු කරන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබා දී ඇති පුද්ගලයකු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඊට අමතරව ඝාතනයට ලක් වූ පුද්ගලයා බෝම්බ ළඟ තබා ගැනීම කප්පම් ගැනීම ආදී චෝදනාවන් වලට අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අයෙක් බවත් පොලිසිය කියයි.
මෙය ප්‍රතිවාදී කල්ලියක් විසින් සිදුකළ සැලසුමක් අනුව ඝාතනයක් බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසීය
පාදුක්ක පොලිසියට අමතරව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි