හිටපු පරිසර අමාත්‍යවරයකු වන මහින්ද අමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් මෝටර් රථයක් මනම්පිටිය වැලි සමාගමේ ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු සඳහා පරිහරණය කළ බවට ව්‍යාජ ධාවන සටහන් සකසා වසර කිහිපයක් කුලී මුදල්, වංචනිකව ලබාගත් නිලධාරියකු පිළිබඳ,පරිසර අමාත්‍යංශයෙන් තොරතුරු අනාවරණය වේ.
පරිසර අමාත්‍යාංශය යටතේ පාලනය වන භූ විද්‍යා, පතල් කැණීම් කාර්යාංශය අනුබද්ධ මනම්පිටිය වැලි සමාගමේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙකු විසින් මෙම ආක්රමිකතාවය සිදුකර ඇති බවත්, ඒ පිළිබඳ සිදුකරන අභ්‍යන්තර විගණන විමර්ශනය මගින් වැරදිකරුකර එම මුදල් නැවත ප්‍රතිපූර්ණය කර ගන්නා ලෙසට නිර්දේශ ලබාදී ඇතත්, ආයතනයේ ඉහළ නිලධාරීන් මේ වෙන තුරුත් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එම තොරතුරු අනාවරණය කළේය.
භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වන මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘති තුල, හිටපු පරිසර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට අයත් එස්.පි.කේ.එස්. 8150 අංක දරන මෝටර් රථය මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියේ අධීක්ෂණය සඳහා පරිහරණය කළ බවට අදාළ භූ විද්‍යාඥා විසින් ව්‍යාජ ධාවන සටහන් මෙන්ම තවත් ලියකියවිලි සකසා ආයතනයේ ඉහළ නිලධාරින්ගේ විරෝධය මැද,මෙම මුදල් වංචාව සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
ඒ වෙනවිට එම වැලි කැණීම් ව්‍යාපෘතියේ පූර්ණ අධීක්ෂණ කටයුතු අදාල භූ විද්‍යාඥයා විසින් සිදුකර ඇති බවත්, මේ පිළිබඳව කරුණු හෙළිදරව් කළ ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ සම්බන්ධව දිගින් දිගටම ආයතනය මට්ටමින් පැමිණි කලද ඉහළ නිලධාරීන් මෙම දූෂිත නිලධාරියා රකින බවත්, එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳ වත්මන් රජයේ පරිසර අමාත්‍යවරයාටත්, ජනාධිපතිවරයාටත් පැමිණිලි කිරීමට කටයුතු යොදා ඇති බවද පරිසර අමාත්‍යාංශය යටතේ පවතින භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරියකු අප සමග කීවේය.
මෙම චෝදනා පිළිබඳ අප භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ, තමන් මෙම තනතුරේ වැඩ භාරගත්තේ මෑතකදි බවත්,තමන් එවැනි වංචනික ක්‍රියාවක් පිළිබඳ තොරතුරු නොදන්නා බවත්, එය වහාම සොයාබැලීමට අවශ්‍ය කටයුතු කරන බවයි.
මනම්පිටිය නිමල් ජයරත්න