මහ භාණ්ඩාගාරයට ලැබිය යුතු හිඟ බදු මුදල් කෝටි එක්ලක්ෂ දහදාහක් ඇති බවත්, බදු ගෙවිය යුතු අය අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටිනා බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. බදු ගෙවිය යුතු මන්ත්‍රීවරු අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා හා හිටපු මහබැංකු අධිපති අර්ජුන ඇලෝසියස් ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය.
ජාතික ජනබලවේගය කිසිවෙකුගෙන් දේශපාලන පළිගැනීම් සිදු නොකළද, මහජන මුදල් හා දේපළ හොරකම් කළ අය නිසි පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන එන බවත්, ඔවුන් එලෙස අනීතිකව උපයා ඇති ධනය හා දේපළ සියල්ල නැවත පවරා ගන්නා බවත් දිසානායක මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (20දා) ගල්ගමුවේ පැවති ජනරැළියක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය.
“සැප්තැම්බර් 21 වෙනිදා මැතිවරණයේ දී මෙතෙක් මෙම රට මුදවා ගෙන පොදු ජනතාව අතට බලය හුවමාරු වෙනවා. මේ මැතිවරණයේ දී ජනතාවට විශාල කාර්ය භාරයක් පැවරිලා තියෙනවා. මේ ජනතාව දැක්කම පැහැදිලියි මේ රටේ ජනතාව මේ රටේ පාලනය වෙනස් කරන්න සූදානම් බව. ලෝකයේ රටවල් අප පහුකරගෙන බොහෝ දුර ගියා. මීට වසර ගාණකට පෙර අපිට පසුපසින් සිටි රටවල් අප පසුකරන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අද අපේ රටේ තරුණයෝ කොරියාවේ රැකියාවට යනවා. නමුත් දකුණු කොරියාව අපිට වඩා පසුපසින් සිටි රටක්. මේ අර්බුදය ස්වාභාවිකව ඇති වුණ එක්ක නෙමෙයි. මේ පාලකයෝ හිතාමතා මේ අර්බුදය ඇති කළා. ගම්වල අම්මා තාත්තට තමන්ගේ වැඩ කරගන්න හැකියාව ආවොත්, ගෙයක් හදාගන්න සල්ලි තිබුණොත්, ගමනක් බිමනක් යන්න සල්ලි තිබුණොත්, සතුටින් ඉන්න පුළුවන් ආර්ථිකයක් තිබුණොත් ඒ අයගේ පස්සෙන් යන්නේ නෑ. දුප්පත්භාවයෙන් ඉන්න තරමට තමයි ඒ අයට බලයේ ඉන්න පුළුවන්.
මට ආරංචියි සජබෙ මන්ත්‍රීවරියක් ගල්ගමුවේ ඇවිල්ලා මූණේ ගාණ ක්‍රීම් බෙදුවලු. සුදුවෙන ක්‍රීම් බෙදුවලු. දැන් මේ ගමේ ඉන්න කාන්තාවට තියෙන ප්‍රශ්නේ හමේ පාට ද. ඒක බාල ක්‍රීම් එකක්. ගාන්න එපා, හම පිච්චෙනවා. මූණේ ගාණ ක්‍රීම් එක තමන්ට ගන්න බැරි ආර්ථිකයක් හදලා ඒ අය ඡන්දය ගන්න ඒවා බෙදනවා. කවදාවත් මේ පාලකයා ගම්වල තියෙන දුප්පත්භාවය නැතිකරන්නේ නෑ.
රනිල් වික්‍රමසිංහ කුරුණෑගල වොක්ස් වැගන් කර්මාන්තශාලාවක් හදනවා කිව්වා. ගොවියන්ට ඩෙනිම් ඇඳලා චුයින්ගම් කකා කුඹුරු කොටන්න පුළුවන් කිව්වා. තරුණයන්ට අතට බ්‍රේස්ලට් දෙනවා කිව්වා. අන්තිමට කළේ හාල් කිලෝ 10ක් බෙදපු එක. අපිට ඕන මේ රට පෝසත් කරන ආණ්ඩුවක්. ඒ වගේම ජනතාවත් පෝසත් කරන ආණ්ඩුවක්. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව තමන්ගේ සැලසුම් හදලා තියෙන්නේ ගම්වල දුප්පත්භාවය නැතිකරන්න.
මුලින්ම භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් එකතු කරන්න ඕන. හිඟ බදු මුදල් විතරක් තියෙනවා කෝටි එක්ලක්ෂ දහදාහක්. ජොන්ස්ටන් ප්‍රනාන්දු බදු ගෙවලා නෑ. සජබට එකතු වුණ ලක්ෂ්මන් වසන්ත පෙරේරා බදු ගෙවලා නෑ. රනිල්ගේ යාලුවා අර්ජුන ඇලෝසියස් බදු ගෙවලා නෑ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හිඟ බදු අයකරගැනීමේ සැලැස්ම හදනවා. භාණ්ඩාගාරයට ලැබිය යුතු ධනය තියෙනවා. සීනීවලට බදු ගැහුවම ඒ සල්ලි එන්න ඕන භාණ්ඩාගාරයට. නමුත් ඒ සල්ලි හොරකම් කරනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් දූෂණය, වංචාව, නාස්තිය නැති කරනවා. රනිල් යනකොට රනිල් පස්සෙන් ඇම්බියුලන්ස් එකක් යනවා. දිනේෂ් ගුණවර්ධන ගෙදර ඉන්නකොට ඇම්බියුලන්ස් එක ගේ ඉස්සරහා නවත්තලා තියෙනවා. මහින්ද විජේරාමේ ඉඳලා පාර්ලිමේන්තු එනකොට ඇම්බියුලන්ස් එක එයාගේ පස්සෙන් එනවා. මේ නාස්ති කරන්නේ ජනතා මුදල්. රෝහලට ඇම්බියුන්ස් නෑ. මහ භාණ්ඩාගාරයේ සෑම සතයක්ම ජනතාව වෙනුවෙන් වැය කරනවා.
ජයග්රහණයෙන් පසු ගමේ සාමය පවත්වාගෙන යෑමට කොට්ඨාස සභා උපයෝගි කරගන්නවා. අපිට ඡන්දය දුන්න නොදුන්න හැමෝම අපි මේ රට හදන්න දායක කරගන්න ඕන. අපි කිසිවෙකුගෙන් පළිගන්නේ නෑ. හැබැයි නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. මහ ජනයාගේ දේපළ හොරකම් කරපු අය පරීක්ෂණ කරලා අධිකරණය හමුවට ගෙන ඒම පළිගැනීම නෙමෙයි. යුක්තිය ඉටු කිරීම. මහජනයාගේ ධනය කෝටි ගණන් හොරකම් කරලා එක්රැස් කරලා තබා දේපළ නීත්‍යනුකූලව රජයට පවරා ගැනීම පළිගැනීම ද..... නෑ. ඒක යුක්තිය ඉටු කිරීම.”