තමන් ජනතාවට සහන දෙන්නේ රුපියල ශක්තිමත් කොට විධිමත් සැලැස්මකට අනුව බවත්, බදු අඩු කරන බව පවසමින් වේදිකාවල බොරු පොරොන්දු දී සූදානම් වන්නේ රට නැවත අගාධයට ඇද දැමීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අපනයන ආර්ථිකයක් ඇති කළ පසුව බදු බර අඩු කළ හැකි බවද, වෙනත් මාර්ගයක් නොමැති බවද, බොරු පොරොන්දුවලින් ආර්ථිකය දිනන්නට බැරි බව ජනතාව හොඳින්ම තේරුම් ගත යුතුව ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.
බණ්ඩාරවෙල,පොළොන්නරුව,ත්‍රිකුණාමලය, සමන්තුරේ සහ කාත්තන්කුඩිහි දී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජනරැලි අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.එම ජනරැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
“ආර්ථිකය ස්ථාවර කරමින් අප යන මේ මාර්ගය තවදුරට ගෙන යා යුතුයි. අප අතහැරියොත් නැවත මේ රටේ ආර්ථිකය අත හැරෙනවා.
අප තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා.ස්ථාවර බවක් ඇති කළ යුතුව තිබෙනවා.එමෙන්ම අපනයන ආර්ථිකයකට යා යුතුව තිබෙනවා. අප සහන දී තිබෙන්නේත් ජනතාව ජීවත් වන්නේත් මූල්‍ය අරමුදල සමග ගත් පියවර නිසයි.ඒ පියවර ආරක්ෂා කරනවාද නැද්ද කියා අප තීරණය කළ යුතුයි.
රට දියුණු කිරීම සඳහා මගේ පරමාර්ථ පහක් තිබෙනවා.ජීවන බර සැහැල්ලු කිරීම,රැකියා බිහි කිරීම,බදු බර සැහැල්ලු කිරීම මෙන්ම ආර්ථික පරිවර්තනයක් කොට අපනයන ආර්ථිකයක් ඇති කිරීම, අස්වැසුම සහ උරුමය වැඩසටහන් ආරක්ෂා කිරීම එම පරමාර්ථ පහයි.
මම රට බාර ගන්නා විට තිබූ බඩු මිල තුනෙන් එකක් අද අඩුවී තිබෙනවා.එනිසා දැනට සහනයක් ලැබී තිබෙනවා.සහනය තවදුරට ගෙනයා යුතුයි. මා මෙයින් පමණක් සෑහීමකට පත්වන්නේ නැහැ .අප ක්‍රමානුකූලව ඒ සහනය ලබාදිය යුතුව තිබෙනවා.
මම බඩු මිල කෘත්‍රිමව අඩු කළේ නැහැ. සහනාධාර දුන්නේ නැහැ. මා කළේ රුපියල් ශක්තිමත් කිරීමයි.ඒ අනුව දළ ජාතික ආදායම වැඩි වුණා .ඒ අනුව අස්වැසුම දෙන්න හැකි වුණා. නොමිලේ සහල් දුන්නා.එමෙන්ම බඩු මිලත් ටිකෙන් ටික අඩු කළා.
රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්නට අප කටයුතු කළා .එමෙන්ම ඉදිරියේදී බඩු මිල තවත් අඩු කරන්න පුළුවන්.අනුර සහ සජිත් කියන්නේ කුමක්ද?බදු අඩු කරන බව කියනවා.
අප මෙතනට වැටුණේ ගෝඨාභය විචාරයකින් තොරව බදු අඩු කළ නිසයි. එලෙස බදු අඩු කළොත් අපට අයි.එම්.එෆ් සහනය ලැබෙන්නේ නැහැ .ඔවුන් කියන්නේ රටේ ආදායම වැඩි කරන ලෙසයි.
අප කළ යුතු එකම දෙය රුපියල ශක්තිමත් කිරීමයි. එය නොකළොත් කිසිම දියුණුවක් ඇතිවන්නේ නැහැ.අප අපනයන ආර්ථිකයක් ඇති කළොත් තායිලන්තය සිංගප්පූරුව වගේ විදෙස් රටවලින් ආදායම එනවා.එවිට බදු බර අඩු කරන්න පුළුවන් . වෙන මාර්ගයක් නැහැ.
බොරු පොරොන්දු ලබාදී ආර්ථිකය දිනන්න බෑ. ආර්ථිකය නග්ගන්න බෑ. එය හොඳින් අවධාරණය කළ යුතුයි.
අප හැම දෙනාටම ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. උරුමය ලබාදී තිබෙනවා.ඉඩම් බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ලබා දෙනවා.ඊළඟ වසර තුනේදී ඉතිරි ලක්ෂ 19 කටත් සින්නක්කර ඔප්පු ලබාදෙනවා”.