බලපිටිය කොස්ගොඩ පදිංචිව සිටි මනෝජ් ප්‍රියන්ත අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමට නොමැතිව රෝගය උත්සන්නවී ජීවිතයෙන් සමුගත්තේ දරුවන් පස් දෙනා සහ භාර්යාවට ද ජීවත්වීමට විදිහක් නොමැතිව ඒ මගමයාමට ඉඩහසර විවර කරමිනි.
පවුලේ ආර්ථිකය එහේම පිටින්ම කඩාවැටීයාමෙන් පසු අද මේ පස් දෙනා ගෙවන ජීවිතය ගෙන යාමට දරනුයේ අපමන වෙහසකි.
පාසල් යන වයසේ දරුවන් සිව් දෙනෙක් හා අවුරුදු එකහමාරක දරුවෙක් ජීවත්කරවීමට බෙහෙත් නොමැතිව ජීවිතයෙන් සමුගත් මනෝජ් ප්‍රියන්තගේ භාර්යාව වන සුජීවනී ද සොයිසා ගන්නා වෙහෙස දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.
පාසල් යන මේ සිව් දරුවන් පාසල් යැවීම කෙසේවෙතත් ඔවුනගේ බඩකට තුන් වේල පිරිමසා ගැනීමට අද ඇයට නොහැකිවී ඇත්තේ මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්කය.
තවද මේ දරුවන් ජීවත් කිරීමට සුජීවනීට කුලියක් මලියක් සොයා ගැනීමටවත් යාමට නොහැක්කේ තවමත් කිරි බොන වයසේ සිටින අවුරුදු එකහමාරේ දරුවා නිසාය.මේ දරුවා සමහර දිනවලදී මව් කිරි බීමට ගොස් මර ලතෝනි දෙන්නේ කිරි එරීමට තරම්වත් ආහාරයක් තමා නොගන්නා නිසා බව සුජීවනී අප සමග කීවේ දෙනෙතේ ගැලූ කදුලු දෙඅත්ලෙන් පිස දමමිනි.
“අනේ මගේ මහත්තයට බෙහෙත් ගන්න සල්ලි තිබුනනම් අවුරුදු තිස්නවයක් වගේ අඩු වයසින් ජීවිතයෙන් සමුගන්න වෙන්නේ නැහැ.ඔහු අවසන් දවස්වල මගෙන් කන්න ඉල්ලුවා.මම කොහෙන්ද දෙවියනේ සැමියට කන්න දෙන්න දේවල් දෙන්නේ” යයි කියනාවිට සුජීවනීගේ දෙනෙත්න් ගැලූ කදුලු ගංගාවකට සමානය.එහිදී ඇය ඒ තරම්ම සංවේදී වූවාය.
“මගේ මේ දරු පැටව් පස් දෙනා අනන්තවත් බඩ ගින්නේ ඉදලා තියෙනවා.පොඩි දරුවා සමහර දවස්වලට කිරි ඉල්ලා අඩනවා.මට මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ මහත්තයෝ” යයි සුජීවනී කෑමොර දුන්නේ හිතේ තිබූ වේදනාවටය.
ඇත්තටම අද තියෙන ආර්ථික තත්ත්වය හමුවේ හය දෙනෙකු ඉන්නා පවුලක් යාන්තමින් හරි දිවි ගැට ගසා ගැනීමට නම් අඩුම තරමින් වත් එම පවුලේ තිදෙනෙක්වත් රැකියාවන්වල නිරතවිය යුතු බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ.පොඩි දරුවන් පස් දෙනෙක් ඉන්නා පවුලක් මේ තත්ත්වය යටතේ ජීවත් කිරීමට නම් කොතරම් මුදල් කන්දරාවක් අවශ්‍ය දැයි කීමට අටුවා ටිකා තිප්පනි අවශය නොවේ.
සිය සැමියා මිය යාමෙන් පසු සුජීවනීලාට කුලී ගෙවා ගැනීමට නොහැකිව දැන් සිය වියපත් දෙමාපියන් ජීවත් වන බලපිටියේ රජ්ජවත්ත පාතේගම කුලී කාමරයට පැමිණ සිටිති.මේ සිව් දෙනා ඉන්නා කුලී කාමරය ඔවුන්ට හැරෙන්නවත් ඉඩ මදිය.සය දෙනාම නිදා ගන්නේ කන්න බොන්නේ මේ කාමරයේය.
අගහිගකම් තිබුනත් එක දරුවෙක්වත් විකුණා ජීවත්වීමට තමා අපේක්ෂා නොකරන බවත් එකට මැරුණත් දරුවන් නම් කාටවත්ම නොදෙන බවද සුජීවනී අප සමග කීවාය.
දරුවන් පස් දෙනෙක් සමග ඔවුනගේ බඩ කට පිරවීමට ඔවුන් පස් දෙනාගෙන් සිව් දෙනෙක් පාසල් යැවීමට රැකියාවක් නොකරන සුජීවනීට ඇති නොහැකියාව ගැන අමුතුවෙන් කිවයුතු නම් නොවේ.තව දුරටත් මේ හය දෙනාම මේ තත්ත්වයේ සිටිය හොත් මේ දරුවන් පස් දෙනාටම සිදුවනුයේ සිය පියා මෙන් නොඑන ගමන් යාමටය.ඒ කුස ගින්නේය.
අප රටේ තවමත් අනුන්ගේ දුක දැක හදවත් උණුවන ඕනෑ තරම් දනන් සිටිති.ඒ අයගේ කාරුණික අවධානය මේ අහිංසකයන්ට යොමු වේනම් ඔවුන් ජීවත් කරවීම අපහසු නොවේ.පාසල් යන දරුවන් සිව් දෙනා පාසල් යැවීමද ඒ තරම්ම අරුමයක් නොවේ.එයින් ලැබෙනා පිං කන්දරාවනම් මිල කල නොහැකිය.මේ එම පිංලබා ගැනීමට කැමති අයෙක් හෝ ආයතනයක් වේනම් සුජීවනීලාට සහන් එළියක් වීමට ඇයගේ 0742974062 ජංගම දුරකතනයට කතා කොට හෝ ඇය නමින්(එච්.එස්.ද සොයිසා) අහුන්ගල්ල ලංකා බැංකුවේ 88734631 ගිණුම් අංකයට මුදල් බැර කල හැකිය.
සුජීවනීලා ගෙවන මේ දිවිය ගැන අප බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූවිට එහි ප්‍රකාශකයකු කීවේ මේ සම්බන්ධයෙන් සොයා බලා රජය පැත්තෙන් කල හැකි දෙයක් නොපමාව කරන බවය.