නඩු භාණ්ඩයක් ලෙස බෙන්තොට පොලීසියේ තිබූ වල්ලාපට්ට ගහක කොටසක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
මේ වල්ලාපට්ට ගස සම්බන්ධයෙන් බලපිටිය අධිකරණයේ දමා ඇති නඩුවේ පාර්ශකරුවකු වන ආර්.වී.පී.දිනූෂා නමැත්තිය විසින් මෙසේ සිය කාර්යාලයට මේ සම්බන්ධයෙන් පැමිණිළි කළ බව ද එම කාර්යාලය කියයි.
කපා දමා තිබූ අඩි හතරහමාරක වට ප්රමාණයක් සහිත අඩි පහළවක් පමණ දිග මේ වල්ලාපට්ටා ගස එහි නියම අයිතිකරු අධිකරණයෙන් නියෝගයක් ලැබෙන තුරු බෙන්තොට පොලීසියේ තිබුණු බවත් දැනට සතියක පමණ කාලයක සිට එම ගසේ කොටසක් අතුරුදහන්වී ඇතැයි කියමින් පැමිණිළිකාරිය සහකාර පොලිස් අධිකාරීකාර්යාලයට පැමිණිළි කොට තිබේ.
2023 වසරේ පෙබරවාරි මස 2 වැනිදා පැමිණිළිකාරිය වන තමා සිය ඉඩමේ තිබෙන මේ වල්ලාපට්ට ගස කපා දැමූ බවත් සිය ඉඩමට යාබදව පිහිටා ඇති විහාරස්ථානයේ හිමිනමක් සිය විහාරස්ථානයට මේ වල්ලාපට්ට ගස අයිති බව පවසමින් බෙන්තොට පොලීසියට පැමිණිලි කොට තිබෙන බවත් ඇය සිය පැමිණිල්ලේ සදහන් කොට තිබේ.
ඒ අනුව බෙන්තොට පොලීසිය විසින් මේ වල්ලාපට්ටා ගසේ නියම අයිතිකරු සොයා ගැනීම සදහා ඒ.ආර්.473/23 නඩු අංක යටතේ බලපිටිය මහේස්ත්රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කළ බවත් පැමිණිළිකාරිය කියයි.
මේ වල්ලාපට්ට ගසේ නියම අයිතිකරු සොයා ගැනීමේ බලයක් සිය අධිකරනයට නැති බවත් මෙය ඉඩම් ආරවුලක් වන බැවින් මේ නඩුව බලපිටිය දිසා අධිකරනයට යොමුකරන ලෙසත් මෙහිදී බලපිටිය මහේස්ත්රාත් අධිකරණයෙන් බෙන්තොට පොලීසියට දැනුම්දී තිබේ.
ඒ අනුව මේ වල්ලාපට්ටා ගසේ නියම අයිතිකරු දිසා අධිකරණයෙන් සොයා ගන්නා තෙක් බෙන්තොට පොලීසියේ තිබූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ගොස් සිටිනා විටදී වල්ලාපට්ටා ගසේ කොටසක් අතුරුදහන්වී ඇති බව තමාට නිරීක්ෂණයවූ බවත් පැමිණිළි කාරිය සිය පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් කොට ඇත.
මේ සම්බන්ධයෙන් බෙන්තොට පොලීසියෙන් අප කළ විමසීමකදී එහි ප්රකාශකයකු කීවේ මේ වල්ලාපට්ට ගහේ මුල කොටස තිබියදී අග කොටසක් පමනක් තිබූ ස්ථානයෙන් අස්ථානගතවී ඇති බවත් ඒ පිළිබදව විමර්ශනයක් ආරම්භ කළ බවත්ය.
එදා වල්ලාපට්ට ගහ තිබූ අයුරු සහ එය ගැලවීමෙන් පසු පොලිස් භූමියේ දමා තිබූ අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.