කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව බීමතින් රාජකාරී කරමින් සිටියදී පොලිස් කැබ් රථයකින් ත්‍රී රෝද රථයක් අනතුරට පත්කර පලා යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු වරකාපොළ තෝලංගමුව ප්‍රදේශයේදී ඊයේ (26)දා අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකි .
මෙම උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරී කටයුත්තක් සඳහා කෑගල්ල පොලීසියේ සිට අඹේපුස්ස යුද හමුදා කඳවුර වෙත කෑගල්ල පොලිසියට අයත් කැබ් රථයකින් පැමිණෙමින් සිටියදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේදී මෙම කැබ් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කර ඉදිරියෙන් ආ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුර සිදුවීමෙන් පසුව පොලිස් කැබ් රථය නොනවත්වා එම ස්ථානයේ සිට වරකාපොල දෙසට ධාවනය වෙමින් තිබියදී අනතුරට භාජනය වූ පුද්ගලයා සහ එම ස්ථානයේ සිටි තවත් කිහිප දෙනෙකු කැබ් රථය පසුපස ලුහුබැඳ වරකාපොළ පොලිස් වසමට අයත් තෝලංගමුව ප්‍රදේශයේදී කැබ් රථය නවතා වරකාපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව වරකාපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ප්‍රසාද් මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා සහ කැබ් රථය අත් අඩංගුවට ගෙන තිබිණ.
පසුව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වරකාපොළ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වරකාපොළ මූලික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටින බවට තහවුරු වී ඇති බවද පොලිසිය පවසන අතර සිවිල් පුරවැසියෙකුට නීතිය ක්‍රියාත්මක වන ආකාරයටම තනතුර තරාතිරම නොබලා මෙම උප පොලිස් පරීක්ෂක වරයා හටද තදින් නීතිය ක්‍රියාත්මක කරන බව වරකාපොල පොලිසියේ ස්ථානාධිපති සී .ප්‍රසාද් මහතා මෙහිදී පැවසීය.
බීමතින් අනතුරක් සිදුකර පලායාමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල පොලිස් මූලස්ථානය වෙත භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වරකාපොල පොලිසිය හා කෑගල්ල මූලස්ථාන පොලිසිය මගින් සිදු කරනු ලබයි.