මින් ඉදිරියට දේශීය බී ළූනු ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීමෙන් තොරව ආනයනකරුවන්ට බී ළූනු ආනයනය සඳහා අවසර නොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිතමු කාන්තා ගොවි සංවිධානයන්හි කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ හමුවේදී අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
රටේ බී ළූනු ගොවියාගේ මැසිවිල්ලක් තියෙනවා හැමදාම බී ළූනු විකුණගන්න බෑ කියලා. නමුත් මේ තත්ත්වය උදා වුණේ කොහොමද කියලා අපි හොයා බැලුවා. මෙතෙක් පැවති රජයන් බී ළූනු ගොවියා අස්වැන්න නෙලන කාලයට පිටරටින් ගෙන්වන්න අවසරය ලබා දෙනවා.
රටේ දේශීය බී ළූනු වෙනුවට විදේශීය බී ළූනු වෙළෙඳපොළට එනවා. ගොවියා අමාරුවේ වැටෙනවා. මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට තීරණයක් ගත්තා, අපේ රටේ බී ළූනු වගාව ආරම්භ කරන සමයේම බී ළූනු සඳහා ආනයන බදු වැඩි කරන්න. ආනයනික බී ළූනු කිලෝවක මිල දැන් රුපියල් 120ක් විතර වෙලා. අපි රුපියල් 40ක් බදු වැඩි කළා. අපේ රටේ දේශීය බී ළූනු කිලෝවක මිල රුපියල් 80යි. එහෙම වූණාම වැඩි මිලට බී ළූනු ආනයනය කරලා වැඩක් නෑ. අපේ රටේ වෙළෙන්දෝ ඒ නිසා දේශීය බී ළූනු මිලදී ගන්න පටන් ගන්නවා.
බී ළූනු මෙරටට ආනයනය කරන තොග වෙළෙදුන් 100ක් පමණ ඉන්නවා. බී ළූනු වගා කරන ගොවින් 1,000කට වැඩි පිරිසක් ඉන්නවා. එම ගොවීන් සහ ආනයනකරුවන් අතර ඉදිරියේ දී අපි පොදු ගිවිසුමකට එනවා. ආසන්න වශයෙන් එක ආනයනකරුවෙක් ගොවීන් 10දෙනෙකුට වැඩි පිරිසකගෙන් බී ළූනු තොග මිලදී ගත යුතුයි. අපේ රටේ අස්වැන්න නෙලන කාලයට මේ ආනයනකරුවන් දේශීය බී ළූනු අස්වැන්න මිලදී ගත යුතුයි. එසේ නොකරන අයට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමටත්, ආනයනය කිරීමට අවසර නොදීමටත් කටයුතු කරනවා. එමඟින් දේශීය බී ළූනු ගොවියා ආරක්ෂා කිරීමට හැකියාවක් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි