පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනයද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කොට ඇතැයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.
ඒ මහතා අද (25දා) කුලියාපිටිය රුවිනි ලෙෂර්පාක් ආයතනයේදී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව පැවසීය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ රත්නායක මහතා,
“ඉකුත් කාලයේ බිත්තරයක රුපියල් 65 -70 අතර මිලකට ගියා. එහෙත් සංගමයක් විදිහට මේ කර්මාන්තයත් ආරක්ෂා කරගෙන, පාරිභෝගිකයාටත් බිත්තරයක් රුපියල් 45 අගයට ලබාදෙන්න අපි අපමණ වෙහෙසක් ගත්තා. බිත්තර මිල අඩු වැඩි වෙන්නේ අපි ඕන ඕන විදිහට කරන දෙයක් නිසා නෙවෙයි. අද වන විට බිත්තරය ගොවිපොළෙන් රුපියල් 30 සීමාව දක්වා අඩුවෙලා තියෙනවා. ඉදිරියෙදී මේ මිල තවත් අඩු වේවි කියලයි අපිට පේන්නෙ.
මිල අඩුවෙන්නෙත් අපි නොහිතන කරුණු එක්ක. ලංකාවට මවු සතුන් අවශ්‍යතාවය අසූ පන්දහසක් පමණ. එයින් තමයි බිත්තර ලක්ෂ 75ක් පමණ නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණේ. එහෙත් මේ වන විට මවු සතුන් එක්ලක්ෂ හතළිස් දෙදහසක් ගෙනත් තියනවා. මසකට අවශ්‍ය පැටවු ලක්ෂ හත හමාරක් වුවත්, එහිදී පැටවු ලක්ෂ 12ක් පමණ බිහිවෙනවා.
ඒ අනුව සෑම මසකම බිත්තර නිෂ්පාදනය ලක්ෂ 5 බැගින් වැඩි වෙනවා. නමුත් පරිභෝජනය ඊට අනුරූපීව වැඩිවෙන්නෙ නැහැනෙ. ඉකුත් ජනපතිවරණ සමයෙදී පාක්ෂිකයන්ට දෙන ආහාර වේලට පක්ෂ, ප්රතිපක්ෂ කවුරුත් බිත්තර එක්කාසු කිරීම නිසා, බිත්තර අලෙවිය වැඩි වුණා.දැන් ඒක නැවතුණ නිසා බිත්තර අතිරික්තයක් පවතිනවා. ඒ නිසා තමයි බිත්තර මිල අඩුවෙලා තියෙන්නෙ.
අනිත් කාරණාව අද වන විට බිත්තර කර්මාන්තයට නව ව්‍යවසායකයන් එකතු වුණා. එය හොඳ තත්ත්වයක්. ඒ අයත් නිෂ්පාදන ක්‍රියාවලියට ඒ විදිහට එකතු වුණ නිසා කොහොමත් මසක බිත්තර ප්‍රමාණය ලක්ෂ5කින් පමණ වැඩි වුණා. මේ සෑම හේතුවක්ම බිත්තර මිල සඳහා බලපානවා.
අපිත් කැමති අපේ නිෂ්පාදන පාරිභෝගිකයන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලබා ගන්නවාට. එහෙත් කර්මාන්තයක් විදිහට මේක වැටෙන්න දීලා බැහැ. එහෙම වුණොත් කුඩා පරිමාණ ගොවීන් මේ කර්මාන්තය අත්හරිනවා. එතකොට බිත්තර ප්‍රමාණය අඩුවෙනවා. අන්න මිල ඉහළ හා හැකි හේතු.
අපි අලුත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නෙ මේ පිළිබඳව අවධානය යොමු කරලා, මේ කර්මාන්තය ආරක්ෂා කරලා දෙන්න කියලා. මොකද වයඹ කිසිදු ආකාරයකින් ආර්ථික අපහසුතා නොඑන්නෙ මේ කර්මාන්තයෙත් සවිය නිසා. බැංකු පද්ධතිය ශක්තිමත් වෙන්නත් මේක හේතුවක්. ඒ නිසයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නෙ ජනතාවට අඩු මුදලට බිත්තර ලබාදෙන වැඩපිළිවෙළ අපි කරන්නම්, ඔබතුමා මේ ව්‍යාපාරය ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු සලසා දෙන්න කියලා.
ඒ වගේම අපි ගැබිනි මවු පෝෂණ මල්ලට බිත්තර නොමිලයේ දුන්නා. පාසල් සිසුන්ටත් නොමිලයේ දුන්නා. ඒ වගේම සහනදායී මිලට අපි පාසල් සිසුන්ට බිත්තර දුන්නා. අපි ඒ දේවල් සමාජය වෙනුවෙන් සිදු කළා. ඒ නිසා රජය වැඩපිළිවෙළක් සකසනවානම් අපිට හැකියාව තියනවා ළමා මන්දපෝෂණය තුරන් කිරීම වෙනුවෙන් පාසල් සිසුන්ට රුපියල් 30කට බිත්තරයක් අදාළ ස්ථානවලට ප්‍රවාහනය කරලා දෙන්නත්” යැයි පැවසීය
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර