මේ වන විට පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, පාරිභෝගිකයිනට අවශ්‍ය බිත්තර මෙරට තුළ නිෂ්පාදනය වන බවත් පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යය ඩී බී හේරත් මහතා පැවසිය.
ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හී පාඨමාලාව හැදෑරූ පිරිස් සඳහා ඩිප්ලොමා ප්රදානය කිරීමේ උත්සවයක් කුණ්ඩසාලේ දී පැවති අවස්ථාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
"දැන් අපි බිත්තර නිෂ්පාදනය කිරීම අතින් සම්තෘප්ත වෙලා තිබෙනවා. අපිට විදේශ රටවලින් බිත්තර අවශ්‍ය නැහැ. වර්තමානයේ තිබෙන තත්ත්වයත් සමග ගොවින් ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිලිවෙලක් සකස් කළා. සත්ත්ව ආහාර සඳහා තීරු බදු සහන දීලා රැගෙන එන නිසා සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මාර්ගොපදේශකත්වය, මෙන්ම පෞද්ගලික අංශයේ මැදිහත්වීමත් සමඟ අද බිත්තර වලින් ස්වයංපොෂිත වෙලා තිබෙනවා.
අපේ ඊලඟ ඉලක්කය බිත්තර අපනයනය කිරීමයි. ශ්‍රි ලංකාවේ නිෂ්පදානය කරනු ලබන මස් ටික දැනටමත් මාලදිවියින, ආරබි රටවලට යවනවා. බිත්තරත් පිටරට යවන තැනට ගෙන ඒමට හැකියාවක් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්වීම නිසා විශේෂයෙන් මස් හා බිත්තරවලින් ස්වයං පෝෂිතවන තැනකට ගෙනයන්න හැකි වී තිබෙනවා යයි ද අමාත්‍යවරයා කීවේය.
පසුගිය කාලයේ කෙරෝනා වසංගතයත් එක්ක රටේ ආර්ථිකය කඩා වැඩීමත් සමඟ කුකුල් බිත්තර හා මස් නිෂ්පාදනය කඩා වැටුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්වෙලා කර්මාන්ත කරුවන්ට පහසුකම් ලබා දීලා ප්‍රජාව ශක්තිමත් කිරීමේ වැඩපිලිවෙල ක්‍රමානුකූලව කරගෙන ගියා.
මේ වනවිට තෘප්තිමත් අවස්ථාව එළඹී තිබෙනවා. මේ කටයුතු කරන කාලය තුළදී අපිට අවශ්‍ය මස් හා බිත්තර නිෂ්පාදනය කිරීම අඩාල උණ අවස්ථා තිබුණා. ඒ අනුව වෙළඳ අමාතාංශය මැදිහත්වෙලා පාරිගෝගිකයින්ට අවශ්‍ය බිත්තර ටික ලබා දෙන්න ඉන්දියාවෙන් ආනයනය කළා"
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්