ජනතා විශ්වාසය ඇතිවන පරිදි රජය සමග එකතුව බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පවත්වාගෙන යෑමට තමා සූදානම් බවත් එහෙත් එම ආයතනය රජයට පවරාගත නොහැකි බවත් හිරා පදනමේ සභාපති, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, ඊයේ (30දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එකිවෙමිනි.
බැටිකලෝ කැම්පස් ආයතනය නිර්මාණය කරනු ලැබූයේ සිංහල, මුස්ලිම්, දෙමළ යන සියලු ජාතීන් සඳහා බවත්, ඒ තුළ ශරියා නීතිය ඉගැන්වීමක් සිදු නොකරන බවට තමා ලිඛිතවම අදාළ පාර්ශ්වය වෙත දැනුම් දී ඇති බවත් හිස්බුල්ලා මහතා පැවසීය.
මෙම ආයතනය පසුගිය ජුනි මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, ඇති වූ විරෝධතා හේතුවෙන් ලබන වසරේ ජනවාරි මාසය දක්වා එය කල්දමා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
බැටිකලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් පවතින බැවින් මෙම ආයතනය රජය සමග එක්ව පවත්වාගෙන යෑමට තමා සූදානම් බවත්, එසේ වුවද මෙම ආයතනය රජයට පවරාගත නොහැකි බවත් හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.
"සිංහල, මුස්ලිම්, දෙමළ ලංකාවේ සියලු ජාතීන්ට අධ්‍යාපනය හදාරන්න පුළුවන් විදිහට තමයි මේ ආයතනය හදලා තියෙන්නේ. මේ තුළ ශරියා නීතිය උගන්වන්නේ නැහැ. ඒක මම පැහැදිලිවම කියලා තියෙනවා. ඒ වගේම ලිඛිතවත් එය ලබා දී තිබෙනවා.
දැනට පවතින නීතිය අනුව බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරාගන්න බැහැ. එයට නීතියක් නැහැ. හදිසි නීතිය යටතේවත් අපේ ආයතනය රජයට පවරාගන්න බැහැ. නමුත් අපි කැමතියි රජයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. රජයත් සමග සාකච්ඡා කරලා රටට තිබෙන බය නැති කරන්න අවශ්‍ය විදිහට පියවර ගන්න අපි කැමතියි.
කොහොම වුණත් අපි කොච්චර දේවල් කිව්වත් බැටිකලෝ කැම්පස් ආයතනය ගැන දැන් ලංකාවේ සියලු දෙනාට සැකයක් තිබෙනවා.
ඒ නිසා අපි කැමතියි මේ ආයතනය රජයත් එකක් එකතු වෙලා කරන්න. අපි ඕනෑම විදිහකට කැමතියි. ඒ ගැන රජයත් සමග සාකච්ඡා කරන්න කැමතියි. රජයයි අපියි එකතු වෙලා මේ ආයතනය කරන්න ඕන. අපි තනියම මේ ආයතනය පවත්වාගෙන යන්න ගියොත් ආයෙත් ප්‍රශ්න ඇති වෙනවා.
බැටිකලෝ කැම්පස් ආයතනය ජුනි මාසයේදී ආරම්භ කරන්න අපි සැලසුම් කරලා තිබුණේ. නමුත් ලබන ජනවාරි මාසය දක්වා එය කල්දමා තිබෙනවා. ලබන ජනවාරි වනවිට මොන ආණ්ඩුව තිබුණත් එතැනදි ආයෙත් මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ආයතනයේ ඉගෙනගන්නා ළමයින්ට හොඳ ස්ථාවරයක් ලබාදිය යුතු නිසා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.
අපිත් සමග 10%ක කොටස් ගන්න, එහෙම නැත්නම් 50%ක කළමනාකාරීත්වය ආණ්ඩුව භාරගන්න, ආණ්ඩුවම උපකුලපති පත් කරන්න, ආණ්ඩුවම ළමයින් බඳවාගැනීමේ කටයුතු කරන්න, විෂයයන් තීරණය කිරීම ආණ්ඩුවම කරන්න. මේ කුමන විදිහකට හරි අපි ලෑස්තියි මේ ආයතනය ආණ්ඩුව සමග එකතු වෙලා කරන්න.
බැටිකලෝ කැම්පස් ආයතනය අපි නිර්මාණය කළේ, විශ්වවිද්‍යාල නගරයක් විදිහට. හැමෙදේම මේ තුළ තිබෙනවා. ඒ නිසා මේ තුළ ඉගෙනගන්න අයට මින් එළියට යා යුතු නැහැ. ලංකාවේ පළමු වරටයි මෙවැනි ස්ථානයක් නිර්මාණය කළේ" යනුවෙන් පවසා සිටියහ.
බැටිකලෝ කැම්පස් ආයතනය සඳහා විදෙස් රටවලින් මුදල් ලැබීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති බව මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, හිස්බුල්ලා මහතා පවසා සිටියේ,
"මේ ආයතනයට මුදල් ලැබුණු හැටි පිළිබඳ සම්පූර්ණ මූල්‍ය වාර්තාවක් 2016 ජූලි මාසයේදී අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන්නා.
බැටිකලෝ කැම්පස් ආයතනයට රුපියල් කෝටි 1,750ක් ලැබුණු බවට මාධ්‍ය වාර්තා කර තිබිණා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. අපට ලැබී තිබෙන්නේ රුපියල් කෝටි 360ක මුදලක්. ඒ සම්බන්ධ සියලු තොරතුරු ලබා දී තිබෙනවා.
ඒ වගේම මේ මුදල් ලබාගෙන තිබෙන්නේ සෞදියේ සහ ගල්ෆ් කලාපයේ පිළිගත් සංවිධානයකින්. එය තහනම් සංවිධානයක් නොවෙයි. ලබාගත් මුදල් සියල්ල නිල වශයෙන් ඇවිත් තිබෙනවා. වසර දෙකක් තුළ 07 වරක් මේ මුදල් ඇවිත් තිබෙනවා. තහනම් සංවිධානයකට එහෙම මුදල් එවන්න බැහැනේ. මෙම මුදල් සම්පූර්ණයෙන්ම ණයක් විදිහට ලබාගෙන තිබෙන්නේ. මුල් වසර 05 තුළ ණය ගෙවන්න අවශ්‍ය නැහැ. පසුව ඉදිරි වසර 15ක් තුළයි ණය ගෙවිය යුතු වන්නේ.
මෙම මුදල් ලබාගෙන තිබෙන්නේ ෂිෆ්ට් ක්‍රමයට. ඒ ක්‍රමය විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් තැන්පත් කිරීමේ ක්‍රමයක් බව අපි දැනුවත් වුණේ මේ ළඟදී. නමුත් ඒක අපට අදාළ කාරණයක් නෙවෙයි. බැංකුවයි ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ. අපි සෞදියෙන් ලබාගත් මුදල් මහබැංකුව හරහා ලංකා බැංකුවෙන් ලබාගෙන තිබෙනවා" යනුවෙනි.
