තමන්වහන්සේට ගුවන් යානය මග හැරුණේ මන්ද යන්න දැන ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණ අනවශ්‍ය බවත් අජාන් බ්‍රහ්මවංශ හිමියෝ පවසති. බටහිර ඔස්ට්රේලියේ පර්ත් නුවරදී දේශනයක් කරමින් උන්වහන්සේ සඳහන් කළේ ඒ පිළිබඳව පරික්ෂණ පවත්වනවාට වඩා ජනපතිවරයෙකුට රට පාලනය කිරිම වෙනුවෙන් කරුණු රාශියක් කිරීමට තිබෙන බවයි.
"කොහොමහරි ප්‍රධාන දේශනය අවසන් වෙලා යළි මෙහෙට එන්න එදා රෑ ගුවන්යානයට ගොඩ වෙන්න මට තිබුණා.
භික්ෂුවක් විදිහට මං ප්‍රසිද්ධ නිසා, ඒ වගෙ කෙනෙක්ට ශ්‍රී ලංකාවෙදි වෙන දේ දන්නවනෙ. ඒ හින්ද මට ගුවන්තොටුපලේදි VIP පහසුකම සූදානම් කරල තිබුනා. ඒ හින්දා මම එතැනට ගියා. එතනට සරලව යන්න බැහැ. එතන මැෂින් තුවක්කු තියාගත්තු සෙබළු ඉන්නවා. මම එතැනට යනකම් ඒ බව දැනගෙන හිටියෙ නෑ. ඒ දවසෙ ඒ වෙලාවට ම වගේ ශ්‍රී ලංකාවෙ අගමැතිවරයා එතැනට ඇවිත් වෙන ම කාමරයක ඉන්නවා කියල දැන ගත්ත. ඔහුව දැක්කෙ නම් නැහැ. ඔහුත් බැංකොක් නුවර තියන ලොකු උත්සවයකට යමින් හිටියෙ. මමත් ඒ සිංගප්පූරුවට ඇවිත් එතැනින් ඔස්ට්‍රේලියාවට එන්න සූදානම් වෙලා හිටියෙ. ඔහු පිරිවරාගෙන සෑහෙන සෙබළු පිරිසක් හිටියා.
ගුවන් යානා නිශ්කාශන කටයුතු සිදු වෙන්න ඕනෑ තරම් වෙලා තිබුනා. ගුවන් ටිකට්පත් රැගෙන ගමන් බලපත්රයෙහි මුද්‍රා තබා ඒ කටයුතු පිළිවෙලට නිම කරල ගුවන් යානයට යාමට ඕනෑ තරම් වෙලා තිබුනා.
ගුවන් යානයට ගොඩ වෙන වෙලාව ආ විට මම කිව්ව, දැන් ගුවන් යානයට යන්න වෙලාව හරි නේද කියල. " කරදර වෙන්න එපා අජාන් හාමුදුරුවනේ, තව වෙලාව තියනවා" කියල පිළිතුර ලෙස ලැබුණා. ඉතිං මම බලාගෙන හිටියා. ඒත් මම නැවතත් කිව්ව, දැන් වෙලාව හරි නේද කියල , එවිට ඔවුන් කිව්වේ, සියලු දේ පිළිවෙලට සිදු වෙනවා ඒ හින්දා කණගාටු වෙන්න එපා කියලා. ඔබ දන්නවා ඇති VIP පහසුකම ලබන්නන් ගුවන් යානය වෙත රැගෙන යන්නෙ අවසාන අවස්ථාවට සමීප වෙලා. එහෙම කරන්නෙ ආරක්ෂාව ගැන හිතල වෙන්න පුලුවන්.
අවසානයේදී ඔවුන් මාව ගුවන් යානයට ගොඩ වෙන ගේට්ටු පිවිසුම වෙත රැගෙන ගියා. ඒ මොහොතෙ මම දැක්කෙ, පිවිසුම් ගේට්ටුවට සමීප කර තිබූ ගුවන් යානය පිටත්වීම සඳහා ඉන් ඈත් කරමින් තිබෙන බවයි.
මං හිතන්නෙ, මේ සිදු වූ දෙය "ප්‍රමාදය" කියා හැඳින්විය නො හැකි බවයි. ගුවන්යානයට ගොඩ වෙන වෙලාවත් පහුවෙලා. මාව එතැනට රැගෙන ගිය කාර්යමණ්ඩල කාන්තාව එතැනින් ඇතුළට ගිහින් සිංගප්පූරු ගුවන් සේවයේ නිලධාරීන් සමඟ ඉතා උස් හඬින් වාද කරමින් කතා කරනවා ඇහුණා. කෙතරම් උස් හඬින් ඔවුන් වාද කරමින් සිටියත් පිවිසුම් ගේට්ටුවෙන් තව තවත් ඈතට ගුවන් යානය ගමන් කරනු පෙනුනා. අනතුරුව ගුවන් යානය පිටත් වුනා. මට ගුවන් යානය මග හැරුණා.
මේ අවස්ථාවේදී මට කරන්න කිසි දෙයක් තිබුනෙ නැහැ. VIP පහසුකම තියන විට ඒ අය ගැන බලා ගන්න එක එතන වැඩක්. කවදාවත් VIP හරහා නම් යන්න හදන්න එපා. ඔබගේ ගුවන්යානය මඟහැරෙයි. මෙතනදි මම තනියම ගුවන්යානයට ගියා නම් කිසි ම ගැටලුවක් වෙන්නෙ නැහැ. ඒත් මෙතනදි එහෙම යන්නත් බැහැනෙ. තුවක්කු තියාගෙන එළියෙ සෙබළු ඉන්න නිසා.
ඉතිං ගුවන් යානය මඟ හැරුණ නිසා ආයෙ ගුවන් යානයක් ගෙන යළි මෙහෙ (ඔස්ට්‍රේලියාවට) එන්න යන ගමනෙදි කරදර රාශියකට මුහුණ පාන්න වුනා.
මා, සමඟ මෙතන ඉන්න ස්වාමීන් වහන්සෙ, අද සවස අන්තර්ජාලය බලද්දි දුටු දේ ගැන කියන්නම්. Colombo Page කියන ලංකාවෙ පුවත් වෙබ් අඩවියෙහි පළ වුන ලිපියක, ශ්‍රී ලංකාවෙ ජනාධිපතිතුමා.... එතුමාට රට පාලනය කරන කටයුතු බොහෝ සෙයින් තිබියදීත් ; ඒ වෙනුවට, " අජාන් හිමිට ගුවන් යානය මඟහැරුණේ ඇයි ? ද යන්න ගැන විමර්ශනයක් ආරම්භ කළා "කියල සඳහන් වෙලා තිබුණා කියලා.
ඇත්තටම ඒ ගුවන්යානයෙහි සෙනඟ පිරිලා ඉන්න ඇති.මෙතනදි යමෙකුට පොඩි වැරැද්දක් වෙන්න ඇති. එතරම් ගණන් ගත යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා, කරුණාකරලා මට ගුවන්යානය මඟ හැරුණු එක ගැන සොයා බලනවාට වඩා, වඩ වඩාත් " සමාවදීම" යන කරුණ මුල් කරගෙන රට පාලනය යහපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න කියලා කාරුණිකව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා."