බස්නාහිර පළාත් සභාවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී 2020, 2021 සහ 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා පදනම් කර ගනිමින් බස්නාහිර පළාත් සභාවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර කාරක සභාව ආරම්භ කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ බස්නාහිර පළාත් සභාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බවත් මේ නිසා කොටස් 3ක් වශයෙන් මෙම සාකච්ඡාව සිදු කරන බවත් ඉන් පළමු කොටස මෙදින පවත්වන බවත් ය.
මේ අනුව බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ දුර්වල නියාමනය මත බස්නාහිර පළාත තුළ සමූපකාර සමිති විධිමත් භාවයකින් තොරව ණය නිකුත් කිරීම හේතුවෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම කරුණ මත පදනම්වූ දැවැන්ත ඛේදවාචකයක් මේ වන විට ඇති වී තිබෙන බවයි. මේ නිසා වගකීමක් සහිතව බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු බවත් මේ වෙනුවෙන් පොදුවේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම වැදගත් වන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන), (ධාවන) හා (මූල්‍ය) ලෙස තනතුරු 3ක් ඇති කර ඉන් තනතුරු 2ක් දීර්ඝකාලයක සිට වැඩබැලීමේ පදනම යටතේ පත් කර දීමනා වශයෙන් රු. 338872 ක් ලබාදීම පිළිබඳව මෙහදී අවධානය යොමු විය. එසේම මෙම තනතුරුවලට පත්වීම සඳහා ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අනාවරණය විය. මේ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් මෙම කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරයාට නිර්දේශ කළේය.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මාර්ග බලපත් ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර විශේෂ අවසරපත්‍ර මගින් මගී ප්රවාහණය සඳහා බස් රථවලට ගමන්වාර ලබාදීම පිළිබඳ මෙහිදී කමිටුව විසින් නිලධාරීන්ගෙන් විමසන ලදි. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ ඇතැම් බස් රථ සඳහා වැඩි වාර ගණනක් ලබාදී ඇත්තේ අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා බවයි. ඊට හේතුව අධිවේගී මාර්ගයේ ගමන් කිරීම සඳහා සුඛෝපබෝගී බස් රථ යෙදවිය යුතු වුවත් එවැනි බස් රථ ඇත්තේ කිහිපයක් පමණක් බවත් ය. මේ නිසා එම බස් රථ වැඩි වාර සංඛ්‍යාවක් යෙදවීමට සිදු වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
එසේම මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ඇතැම් මාර්ග සඳහා අත්‍යාවශ්‍ය වෙලාවන් සඳහා බස් රථ යොදා නැති බවයි. මේ නිසා පවතින බස් රථ විධිමත් ආකාරයෙන් යෙදවීමට වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට කාරක සභාවේ සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
තවද තාක්ෂණය යොදාගනිමින් බස් රථ ධාවනය විධිමත් කිරීමට වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසද මෙහිදී කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.