උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල්වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ බස්නාහිර පළාතේ පාසල්වල විශාල වශයෙන් ගුරු හිඟයක් පවතින බවයි.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ රැකිය විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් අද (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි. කතානායක, මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්විය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
"උපාධිධාරීන්ගේ ප්රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කරනවා. උපාධිධාරීන් බඳවා ගැනීමට එරෙහිව යම් යම් කණ්ඩායම් පසුගිය කාලේ උසාවි ගියා. පාසල්වල ගුරු හිඟයක් ඇති වුණේ ඒ නිසයි. මේ ගුරු හිඟය වැඩියෙන්ම තියෙන්නේ බස්නාහිර පළාතේ. ගුරු විභාගයක් පවත්වල බස්නාහිර පළාතට ගුරුවරුන් බඳවා ගත්තත් විෂයානු බද්ධව බඳවාගැනීම් සිදුකෙරෙන කොට සමහරුන් අත්හැරිලා තිබෙනවා.
ආණ්ඩුකාරතුමන් එක්ක සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් අපි තීන්දු තීරණ ගත්තා. බස්නාහිර පළාතේ පුරප්පාඩුවලට වඩා උපාධිධාරීන් වැඩියි. විභාගයක් පවත්වන්න වුනේ ඒ නිසයි. නමුත් වෙනත් පළාත් වල එහෙම තත්ත්වයක් නැහැ.
මම පළාත් මහ ඇමතිවිදියට වැඩ කරද්දි අපි විභාග තියල උපාධිධාරීන් බඳවාගත්තා. ඊළඟට ඉන්න උපාධිධාරීන් ස්වේච්ඡාවෙන් පාසල්වල උගන්වන්න ආවා. ඒ අය ඒක පුහුණුවක් විදියට ගත්තා. ඒ නිසා දැන් ගොඩාක් දුරට බස්නාහිර පළාතේ ප්රශ්නය විසඳිලා. නමුත් උපාධිධාරීන් දැන් වැඩිවෙලා. ඒ නිසා දිසාපතිවරුන් දැනුවත් කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඒ අයගෙ තොරතුරු ලබාගත්තා. මම සුසිල් ඇමතිතුමාත් එක්ක කතා කළා මේ ගැනඅපි යෝජනා කරල තියෙන්නේ වයස අවුරුදු 45ට අඩු උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදෙන්න කියල."