බස් රථවල පනවා තිබෙන බදු ඉවත් නොකර, බස් රථ ගෙන්වීමට සිදුවුවහොත් අවම බස් ගාස්තුව රුපියල් පනහක් බවට පත්කර, එතැන් පටන් ගාස්තුව ඉහළ දැමිය යුතු බව බස් හිමියෝ සඳහන් කරති.
ආසන 54 සාමාන්‍ය සේවා බස් රථයක් 2020 වසර වන විට රුපියල් ලක්ෂ හැත්තෑවත්, රුපියල් ලක්ෂ අසූවත් අතර මුදලක පැවති බවත් මේ වන විට බස් රථයක මිල එක්කෝටි හැත්ත ලක්ෂයක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද බස් හිමියෝ පෙන්වා දෙති.
බස් රථයක මිල ඉහළ යාමට එක් හේතුවක් වී තිබෙන්නේ වැට් බද්ද හා වෙනත් බදු නිසා බවත්, මෙම මුදලට බස් රථ රැගෙනවිත් වර්තමාන බස් ගාස්තුවට ධාවනය කිරීම තුළින් කිසිදු ලාභයක් ලබා ගැනීමට නොහැකි වන බවද සඳහන් කරයි.
වාහන ගෙන්වීම 2020 වසරින් පසු සීමා කර තිබූ බවත්, එහෙත් වාහන ගෙන්වීමට අවසර ලබා දීමට වර්තමාන ආණ්ඩුව තීරණය කර තිබෙන බවත්, මේ අනුව ඉදිරියේදී බස් රථ ගෙන්වීමට හැකි වන බවද පෙන්වා දෙයි.
වාර්ෂික බස් ගාස්තු තීරණය කිරීමේදී බස් රථයේ මිල, අමතර කොටස් මිල, ඉන්ධන මිල ඇතුළු කරුණු සලකා බලන බවත්, මේ අනුව වර්තමානයේ පවතින මිලටම බස් රථ මිලදී ගැනීමට සිදුවුවහොත් වාර්ෂික ගාස්තු සංශෝධනයේදී පවා ගාස්තුව ඉහළ යන බවද සඳහන් කරයි.
මේ වන විට අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ටයර් ටියුබ් මිල, ඉන්ධන මිල ඉහළ මිලක පවතින බවත්, පවතින තත්ත්වය තුළ දැනට ධාවනය කරන බස් රථවලට පවා අපේක්ෂිත ආදයම් නොලැබෙන බවද පෙන්වා දෙයි.
පොදු මගී සේවය නිසිලෙස පවත්වාගෙන යාමට නම් පුද්ගලික අංශය සතුව බස් රථ දහඅටදහසක්වත් පැවතිය යුතු බවත්, එහෙත් මේ වන විට ධාවනය කරනු ලබන්නේ බස් රථ දහතුන්දහසකට අධික ප්‍රමාණයක් බවද සඳහන් කරයි.
2019 වසරින් පසු නිසිලෙස බස් රථ ගෙන්වීමක් සිදුව නොමැති බවත්, මේ නිසා දුර ගමන් සේවා බස් රථ හා අධිවේගී මාර්ගවල ධාවනය කරන බොහෝ බස් රථ 2019 වසරේදී හෝ ඊට පෙර වසරවල ගෙන්වූ බස් රථ බවද පෙන්වා දෙයි.
පසුගිය කාලය සැලකීමේදී දුර ගමන් සේවාවට අලුතින් එක්වන බස් රථ වසර 05කට පසු විකුණා දැමීම සිදුකර, අලුතින් බස් රථ මිලදී ගන්නා බවත්, දුර ගමන් සේවාවලින් ඉවත් කරන බස් රථ කෙටි ගමන් සේවාවලට යොදා ගැනීම සිදුවූ බවද සඳහන් කරයි.
එහෙත් දුර ගමන් සේවා බස් රථ විකුණා දැමීම සිදුනොවන නිසා බස් රථ හිඟය වැඩියෙන්ම බලපා තිබෙන්නේ කෙටි ගමන් සේවාවලට බවත්, එයට හේතු වී තිබෙන්නේ කෙටි ගමන් සේවාවලින් ඉවත් කරන බස් රථය වෙනුවට බස් රථයක් යෙදවීමට නොහැකි වීම බවද පෙන්වා දෙයි.