පුද්ගලික බස් ගාස්තු කිසිම හේතුවක් නිසා හෝ මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බවත් දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාත්මක කිරීමට සූදානම් යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් පරිදි මේ වනවිට පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යාමේ දී ආසන ගණනට පමණක් මගීන් ප්රවාහණය සිදු කෙරේ.
නමුත් එමගින් තමන්ට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවත්, එමනිසා අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවේ මෙන් සාමාන්‍ය අය කිරීම්වලට වඩා සියයට 1.5ක් දක්වා පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා බස් රථ හිමියන්ගේ සංගම් කිහිපයක් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
එසේ වුවද මෙම අවස්ථාවේ කිසිදු අයුරකින් හෝ බස් රථ ගාස්තු ඉහළ නැංවීමට කටයුතු නොකරන අතර බස් රථ අයිතිකරුවන් විසින් දැනට තමන් මෙම කර්මාන්තය පවත්වාගෙන යන්නේ පාඩු පිට බව පවසන හෙයින් ඊට විකල්ප විසඳුම් ලබා දීමට තම අමාත්‍යාංශය මගින් පියවර ගන්නා බව මහින්ද අමරවීර මහතා පවසයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත විය හැකි ආකාර දෙස බලන විට පොදු ප්‍රවාහණ සේවා ඊට ප්‍රබල සාධකයක් වන බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දි තිබේ. එමනිසා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවම කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පවසයි.
කෙසේ වුවද පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ අවස්ථාවේ ඇතැම් බස් රථ අයිතිකරුවන් කියා සිටියේ තමන් මෙවැනි වසංගත රෝග තත්ත්වයක් තුළ කිසිදු අයුරකින් හෝ බස් ගාස්තු ඉහළ නැංවීමට රජයෙන් ඉල්ලිම් නොකරන බවයි.