අමෙරිකාව මෙරටට පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මෙරට නියෝජිත කණ්ඩායම පැවැත්වූ සාකච්ඡා ඉතාම ප්‍රතිඵල දායක වී තිබෙන බවත්, ඒ අනුව ඉදිරියේදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රත්නපුර ප්‍රදේශයේ අද (23දා) පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“මේ ආර්ථිකය හදන්න ඕනෑ කමක් තිබුණා. ඇයි ඕනෑ කමක් තියෙන්නේ? ආර්ථිකය වැටිලා තිබ්බා. ආර්ථිකයේ විශාල අස්ථාවර භාවයක් තිබුණා මීට අවුරුදු 2ට කලින්. කෙටි කාලයක් ඇතුළත අපි සැලකිය යුතු ප්‍රමාණයකින් සමත් වෙලා තිබෙනවා අපේ රටේ ආර්ථිකයේ ස්ථාවර භාවය හදන්න. අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා.
ඊළඟට ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ අපනයන ආදායම වැඩිකර ගන්න ඕනෑ. අපි පිටරට භාණ්ඩ හා සේවා සපයලා උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය වැඩිකරගත යුතුව තිබෙනවා. 2025 වසර ලංකාව වැඩිම අපනයන උපයා ගත් වසර බවට පත් කළ හැකියි. ජනවාරි මාසයේ ඉක්මවා ගිහින් තියෙනවා. පෙබරවාරි මාසයේ ඉක්මවා ගොස් තිබෙනවා.
හදිසියේ එක්සත් ජනපදයේ තත්ත්වයක් මතු වෙලා තිබෙනවා. ඒක අපේ රටේ විශේෂයෙන්ම ඇඟලුම් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට බලපෑමේ අනතුර තිබෙනවා. අපි ඒක විසඳා ගැනීම සඳහා උත්සහ කරනවා. අපේ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයට ගිහින් ඊයේත් අපි සාකච්ඡා පැවැත්වූවා.
දැන් මට දැනුම් දීලා තියෙනවා ඒ සාකච්ඡා ඉතාමත් ප්‍රතිඵල දායක සාකච්ඡා බව. ඒ නිසා දෙපාර්ශ්වයම එකඟ වෙලා යම් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. එක්සත් ජනපදයයි ශ්‍රී ලංකාවයි. අපි උත්සහ කරන්නේ ඒ ප්රශ්නය බේර ගන්න. ”