2024 ජනාධිපතිවරණයට ඉදිපත් කෙරෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත්කිරීම අද (07දා) පෙරවරු 7.30ට පමණ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී සිදුකිරීමට නියමිතය.
ඒ අනුව එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (06දා) දිනය වනතුරුම සැලසුම් කර තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අති බහුතරයක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තීරණය කිරීම නිසා ධම්මික පෙරේරා මහතාගේ තීරණයේ වෙනසක් සිදුව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඊයේ රාත්රීවනතුරුම පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුරුන්දැයි යන්න පිළිබඳව දැඩි අර්බුදයක් පැවති අතර කෙසේ හෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව ජනාධිපතිධුර අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට එකඟ කරවා ගැනීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස දැඩි වෙහෙසක් ගෙන තිබිණි.
යම් හෙයකින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඔහුට හිතවත් පිරිස් ඊයේ දිනයේදී යෝජනා කර තිබිණි.
මේ අතර, රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙකුගේ මතය වී ඇත්තේ මේ අවස්ථාවේ දී පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් පොහොට්ටුව දැඩි අර්බුදයකට ලක්වන බවත් එය ඉදිරි මැතිවරණවලටද දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි.
මේ අතර මේ පිළිබඳ සිදුකළ වැඩිදුර විමසීමේදී එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා සඳහන් කර සිටියේ, පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණයට පරිබාහිරව කටයුතු කිරීමට පක්ෂ සාමාජිකයන්ට නොහැකි බවයි.