පළාත් පාලන මැතිවරණයකින් රටේ ආර්ථික ප්‍රශ්න විසඳිය නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ මොහොතේ ඡන්දයක් ඉල්ලන්නේ දේශපාලන උවමනාවට මිස මැතිවරණයක අවශ්‍යතාවයකට නොවන බවයි.
රටතුළ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට නම් මැතිවරණ පැවැත්විය යුතු බව කී අමාත්‍යවරයා රජය ඕනෑම මොහෙතක මැතිවරණයකට මුහුණදීමට සූදානම් බවද කීය.
නව සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත්වන බවත් ඒ සඳහා පක්ෂ 8 ක් සමඟ දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් ලකුණ ඉදිරියේදි තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ගම්පහ, උඩුගම්පොළ ඊයේ (17) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.
“කොරෝනා වසංගතය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජයට සිදුවුණා. මැතිවරණ කල්දමන බවට අපි කවුරුවත් කියල නෑ. නමුත් විපක්ෂය එවැනි මතවාදයක් රටතුළ ගොඩනැගීමට උත්සහ ගන්නවා.
පසුගිය කාලයේදී සිදූවූ දේවල් නිවරදිවීම ප්‍රමාද වෙනවනම් පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට හෝ පැවැත්විය යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා.
එ.ජා.ප ,ශ්‍රී.ල.නි.ප,පොහොට්ටුව හා ජ.වි.පෙන් කැඩීගිය කොටස් ඇතුළු සියලුම දෙනා මේ මොහොතේ එකම මතවාදයකට පැමිණීම මේ මොහොතේ ලොකුම ජයග්‍රහණයයි. මැතිවරණයේ ජයග්‍රහණය තීරණය කිරීමේ බලය ජනතාවට ලබාදිය යුතුයි. ජ.වි.පෙ ඇතුළු සමහර පක්ෂ හැමදාම කළේ කයිවාරු ගහන එක විතරයි. වැඩක් කළේ නෑ.
සාමකාමී අරගලය සමහර පිරිස් හයිජැක් කළා. ඒකෙ හිටියේ කුඩුකාරයොයි,ගංජා කාරයොයි,ගණිකාවොයි.ඒ බව අරගලයේ හිටපු අයම කියනවා. මහාචාර්යවරුන්ට ගහන්න ගෙවල් ගිනි තියෙන ඒවා අරගලයත් එක්ක පටන් ගනිපුවා.
රටතුළ සාමකාමීව ජීවත්වීම, ලබන වැටුපට සරිලන ආර්ථිකයක් රටතුළ ඇතිකිරීම වගේ දේවල් මිස නැවත අරගලයක් මිනිස්සු බළාපොරොත්තුවන්නේ නෑ.
අපි බලන්න ඕන මේ අර්බුධයෙන් ගොඩ එන්නයි. අද රටට සංචාරකයන් එනවා. සංචාරකයන් එනකොට විදෙස් සංචිත වැඩි වෙනවා. එතකොටම අරගලය පටන් ගන්නවා. මේ අර්බුදයට එකතුවෙලා මුහුණ දෙන්න ඕන.” බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.