ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය විධායක සභික නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කරනු ලැබුවේ අද (2024.07.30) පෙරවුරුවේ උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් සර්වජන බලය සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුව හා එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දෙන්න කියලා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවූ ලිපිය එම පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරමින් එම පෙරමුණෙන් ද වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා තීරණයක් අරන් තියෙනවා.
මේක දුර්වල රනිල් තවදුරටත් දුර්වල කරන්න කරපු දෙයක්ද එහෙමත් නැත්නම් දුර්වල රනිල්ව ශක්තිමත් කරන්න කරපු දෙයක්ද කියලා සාධාරණ සැකයක් අපිට තියෙනවා.
රාජපක්ෂවරුන් ආණ්ඩුවේ සිටීම තමයි දෙමළ ඊලම වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තියෙන ලොකුම බාධාව. ඒ වගේම කොවිඩ් කාලයේ මුස්ලිම් මෘත දේහයන් පිලිස්සීමට කටයුතු කළ රාජපක්ෂවරු ආණ්ඩුවේ සිටීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දැක්වීමට සමහර මුස්ලිම් පක්ෂ වලට තිබිච්ච බාධාව.
ඒ වගේම සමගි ජන බලවේගයට එකතුවෙලා ඉන්න පිරිස් රනිල් වික්‍රමසිංහ මහත්තයව අතෑරියේ ඔහුට දිනන්න බෑ කියලා මිසක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති රටට හානි කරයි කියලා නෙවෙයි. මෙලෙස ඉවත් වුණු සජබයේ අයට නැවත රනිල් වික්‍රමසිංහ මහතා ගාවට යන්න තිබිච්ච බාධාව තමයි රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටීම. ඒ නිසා රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට යම් ප්‍රමාණයක ශක්තියක් ලබාදීම සඳහා මේ ඉවත්වීම සිදුකළාද කියන එකත් වීමට ඉඩක් තියෙනවා.