උතුම් පොසොන් පොහොයේ වැදගත්කම කෙලෙසන හොල්මන් මන්දිර ප්‍රදර්ශන වහා තහනම් කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල් ආර්.ඇම්.පී.රත්නායක මහතාගෙන් ඉල්ලා අස්ගිරි පාර්ශවයේ පුත්තලම් මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් 2024.06.17 දාතමින් ලිපියක් යොමුකොට තිබේ.
මෙම ලිපියේ පිටපතක් උන්වහන්සේ විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ද යොමුකොට ඇත.
පොසොන් පෝයදා සිදුවූ මහින්දාගමනය නිසා ලංකාවේ සාමාජික, ආර්ථික, දේශපාලනික, හා සංස්කෘතික යනාදී විවිධ අංශයන්වලට බුදු දහමේ බලපෑමක් ලැබුණු බවත් මිහිඳු මහරහතන් වහන්සේ එදා අපේ රටේ ජනතාවට ඉදිරිපත් කළ සාමාජික, ආර්ථික, දේශපාලන, හා සංස්කෘතික හරයන් අපේ ජනතාවගේ ඇට, මස්, ලේ නහර තුළ අදටත් කාවදී තිබෙන බවත් උන්වහන්සේ ලිපිය මගින් දැනුම් දෙයි.
එදා පටන් අපේ රජවරුන් මෙන්ම ජනතාවද බුදු දහම රැකගත්තේ දිවි දෙවැනි කොට බවත් පවසන මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ සමස්ත ලාංකිකයන්ට බුදු දහමේ බලපෑම ලැබීම නිසා ලක්වැසි සැමගේ ජීවිත ආලෝකමත් වූ බවද කියා සිටි.
එවන් උතුම් දහමක්, දර්ශනයක් හඳුන්වා දුන් මෙවන් උතුම් පොසොන් පොහොය දිනෙක රටේ සමහර විහාරස්ථානවල සංඝයා වහන්සේලාත් එම විහාරස්ථාන කේන්ද්‍ර කොටගෙනත් හොල්මන් මන්දිර වැනි විකාර සංදර්ශන පැවැත්වීම මේවනවිට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇතැයි උන්වහන්සේ තම ලිපිය මගින් කියා සිටියි.
මෙවැනි හොල්මන් මන්දිර වැනි විකාර ක්‍රියා උතුම් පොසොන් පොහොය දිනකට කිසිසේත් නොගැලපෙන බව පෙන්වා දෙන ඒ හිමියෝ එය වහා නතර කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි. මෙය ළමා පරපුරට වැරදි පූර්වාදර්ශයක් ලබා දෙන නිසා පොලිසියද මැදිහත් වී මෙවැනි විකාර ක්‍රියා වහා නතර කරන ලෙසද උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා සිටියි.
කමල් ශ්‍රි ලියනගේ