පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වෙනිදා රාත්‍රී හතයි පහට පමණ එල්ල කල වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයෙකු බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ නීති විරෝධී බෙහෙත්කොටන තුවක්කුවක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
මනම්පිටිය රෝහල පාරේ දේවස්ථානයට 18 වෙනිදා රාත්‍රී හතයි පහට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන අතර එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති බවත්, සිද්ධියෙන් දේවස්ථානය ආවරණය කර තිබූ වීදුරුවලට පමණක් හානි සිදුව ඇති බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
මෙම වෙඩි ප්‍රහාරයට හේතුව දේවස්ථානයේ පාස්ටර්වරයා සමඟ තිබූ පෞද්ගලික ආරවුලක් බව සැකකරු විසින් යුද හමුදා බුද්ධි අංශයට පාපොච්චාරණය සිදුකර ඇති බවත්, වෙඩි තබන අවස්ථාවේදී පාස්ටර්වරයා එම දේවස්ථානයේ නොසිට ඇති අතර එදින දේව මෙහෙය කටයුතු සිදුකර ඇත්තේ පාස්ටර්වරයාගේ බිරිඳ විසින් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත්තේ සැකකරු 19 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ඇති බවද මනම්පිටිය පොලිසිය පවසයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි එම්.එස්.එම්.ජරූල් මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු සිදුකළ අතර සිද්ධිය සම්බන්ධව, පොළොන්නරුව පොලිසිය. අරලගංවිල විශේෂ කාර්ය බළකාය, වැලිකන්ද යුද හමුදාව සහ මනම්පිටිය පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මනම්පිටිය නිමල් ජයරත්න


