වර්තමානය වන විට පොලිස් සේවයේ පුරප්පාඩු 26,047ක් පවතින බවත්, ඊට අමතරව සහය සේවා තනතුරු පුරප්පාඩු 1,827ක් තිබෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පොලිස් සේවයට 2,500ක් බඳවා ගැනීම සඳහා ලබන මාසය තුළ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බව ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර පොලිස් සේවයේ උසස්වීම ලබා දීමේ ප්‍රමාදයට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු 100ක් බලපා තිබෙන බවත්, එම නඩු සමතයකට පත්කර ගැනීමට නීතිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
පොලිස් කොස්තාපල් සාමාන්‍ය සේවයේ 17,966යි පුරප්පාඩු. විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල් පුරප්පාඩු 2,588යි. කාන්තා පොලිස් කොස්තාපල් පුරප්පාඩු සාමාන්‍ය සේවයේ 4,043යි. විශේෂ කාර්ය බළකායේ 86යි. පොලිස් කොස්තාපල් රියදුරු පුරප්පාඩු 734යි පොලිස් සාමාන්‍ය සේවය. පොලිස් විශේෂ කාර්ය බළකායේ 176යි. උපපොලිස් පරීක්ෂක 57ක් පුරප්පාඩු. විශේෂ කාර්ය බළකායේ 25යි.
කාන්තා උපපොලිස් පරීක්ෂක තනතුරු 63ක් පුරප්පාඩු. සහකාර පොලිස් අධිකාරී තනතුරු 7ක් පුරප්පාඩු. විශේෂ කාර්ය බළකායේ පුරප්පාඩු 2යි. මේ අනුව සමස්ත පුරප්පාඩු පොලිස් සේවයේ 23,170ක්, විශේෂ කාර්ය බළකායේ 2,877ක් වශයෙන් පුරප්පාඩු 26,047ක් මේ වන විට පොලිස් සේවයේ පුරප්පාඩු තියෙනවා. ඊට අමතරව සහය සේවා තනතුරු පුරප්පාඩු 1,827කුත් තියෙනවා.
උසස්වීම් ලබා දීමේ යම් මන්දගාමී තත්ත්වයක් පවතිනවා. ඊට හේතු වන්නේ උසස්වීම් සහ බඳවා ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 100කට වැඩි ප්‍රමාණයක් පවරලා තියෙනවා. ඒ නිසා යම් ප්‍රමාදයක් තියෙනවා. සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා විවෘත තරග විභාගයේ බඳවා ගැනීම් අවසන් අදියරේ තියෙනවා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී 46ක්, කාන්තා සහකාර පොලිස් අධිකාරී 03ක්, එස්.ටී.එෆ්. සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් 2ක් ලබන මාසයේදී බඳවා ගන්න සියලු කටයුතු සිදුකර අවසන් අදියරේ පවතින්නේ.
ශ්‍රී ලංකා පොලීසියේ විධායක සේවා ගණයේ එක් එක් තනතුරුවලට පුරප්පාඩු ඇති වූ විට ඒ තනතුරට අදාළ අනුමත බඳවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටියේ සඳහන් පරිදි අදාළ සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් උසස් කිරීම සිදුකරනවා. දැනට නිලධාරීන් 5,612ක් සාමාන්‍ය සේවයේත්, එස්.ටී.එෆ් එකේ 111දෙනෙකුත්, සහයක සේවා 217ක් වශයෙන් 5,940ක් උසස්වීම් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ උසස්වීම් ඉදිරියේදී ලබා දීමට පියවර ගන්නවා. ඒ වගේම පවතින පුරප්පාඩුවලින් අපි ලබන මාසයේ ගැසට් පත්‍රය නිකුත් කරන්න සැලසුම් කරලා තියෙනවා පොලිස් සේවයට 2,500ක් බඳවා ගන්න. ඉදිරියේදී අඛණ්ඩය බඳවා ගන්නවා. ඒ වගේම තමයි මේ උසස්වීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩු 100ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කරමින් ඉන්නවා, මේවා සමතයට පත් කරලා ඔවුන්ගේ සේවා ගැටලු කඩිනමින් විසඳන්න.