ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතුයායේ පරිසර අධි සංවේදී කලාපයේ වටිනා ගස් 90ක් නීති විරෝධී අයුරින් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයායේ වතු කළමනාකාරවරයා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට හෘදයාබාධයක් වැළඳී රෝහල් ගතකළ බව පොලිසියය කියයි.
එම වතුයායේ වැටුන ගස් සහ මැරුණ ගස් 411 ක් කපා ඉවත් කිරීම සඳහා ටෙන්ඩරයක් ලබාගෙන වතුයායේ පරිසර අධි සංවේදී කලාපයේ තිබූ සපු, ටූනා, මාරා, ඇල්බිසියා, සබුක්කු ඇතුළු වටිනා ගස් 90ක් කපා ඉවත් කොට ඇති බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයායේ නියෝජ්‍ය වතු අධිකාරිවරයා සහ ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර වතුයායේ කළමනාකාරවරයා අද (27) මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට එසේ හෘදයාබාධයක් වැළඳුන බව පොලිසිය කියයි.
එසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.
වතු කළමනාකාරවරයා පොලිස් ආරක්ෂාව යටතේ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු සම්බන්ධයෙන් උසාවියට කරුණු වාර්තා කිරීමට නියමිතය.
මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.