පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු පදවාගෙන යමින් සිටි මෝටර් රථයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය තිබූන බවට බියකර රුපියල් 3,60000/= මුදලක් වංචා සහගත ලෙස ලබා ගත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළ බව මොරගහහේන පොලිසිය කියයි
පුද්ගලික අංශයේ තරුණ විධායක නිලධාරීවරයෙකු අවශ්‍යතාවයක් සඳහා පැලවත්ත විභාග දෙපාර්තමේන්තුවට ගොස් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරගහහේන තල්ගහවිල පින් බෙහෙත් ශාලාව අසල මෝටර් රථය නවතා ජලය පානය කර පිටත්වීමට සැරසීමත් සමඟම සිවිල් ඇඳුමින් සැරසී එම ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තමන් පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් නිලධාරීන් බව පවසමින් හැඳුනුම්පත් දෙකක් පෙන්වා මෝටර් රථය ඉදිරිපසත් අනෙක් පුද්ගලයා මෝටර් රථයේ පිටුපසත් පරික්ෂා කර ඇති අතර පිටුපස අසුන ආසන්නයේ පරික්ෂා කළ පුද්ගලයා " චිෆ් මේ තීයෙන්නේ බඩු" යැයි පවසමින් කුඩා පාර්සලක් අතට ගෙන තමුන්ගේ වාහනේ තිබිලා අපි අයිස් මත්ද්‍රව්‍ය හොයාගත්තා ,මොකද කියන්නේ? ගොඩින් බේරලා දෙන්න පුළුවන් කැමතිද යනුවෙන් එම පුද්ගලයාගෙන් විමසා ඇතැයි පොලිසිය කියයි
තල්ගහවිල ප්‍රදේශයේ සිට හොරණ සව් ගස් හන්දිය තෙක් විධායක නිලධාරියාගේ මෝටර් රථයට නැග පැමිණ තිබූ එම පුද්ගලයන් දෙදෙනා ඔහුගේ පෞද්ගලික තොරතුරද විමසමින් ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන්ද තොරතුරු විමසා ඔහු පැලවත්ත විභාග දෙපාර්තමේන්තුවේ පැමිණෙන බව තමන්ට බුද්ධි තොරතුරු ලැබුණු බව පවසා තිබූ බව පොලිසිය කියයි.
" අපි චීෆ්ට කියලා මේක බැලන්ස් කරලා දෙන්නම් , අපේ SSP ගේ රිටයිමන්ඩ් පාටිය තියෙනවා විස්කි බෝතල් තිහක් විතර ගන්න ඕනේ , අපිට ඒකට උදව්වක් කරන්න , එතකොට සලකලා බලන්න පුළුවන් පවසා චිෆ් යැයි පැවසූ පුද්ගලයා සමග දුරකථනයෙන් කතා කිරීමට දුරකතනය පැමිණිලිකරුට ලබාදී ඇති බවද පොලිසිය කියයි.
එහිදී එකී පුද්ගලයා දැඩි ගාම්භීර තත්ත්වයක් මවා ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම හැර වෙන විකල්පයක් නොමැති බවත් තමන්ව අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් පවසමින් දුරකථනය විසන්ධි කල බවත් පැමිණිලිකරු පොලිසියේ සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත
මෙයින් දැඩි භීතියට පත්ව සිටි තරුණ විධායක නිලධාරීවරයා තමන්ට එපමණ මුදලක් දැරීමට නොහැකි බවට ඔවුන් සමග සිටි පුද්ගලයන් දෙදෙනාට පැවසීමෙන් අනතුරුව චීෆ්ට කතා කරලා හරියන්නේ නෑ හෙඩ් චිෆ්ට කතා කරන්නන් යනුවෙන් නැවතත් දුරකථන ඇමතුමක් ගෙන පුද්ගලයෙකු හා කතාබහ කර "අනේ චීප් මම දන්නා අඳුරන එක්කෙනෙක්ගේ පුතෙක් මේ , මූ නම් අහිංසකයෙක් වගේ පේන්නේ අපි මොකක් හරි චාන්ස් එකක් දෙමු චිෆ්" යනුවෙන් පැවසීමෙන් අනතුරුව එහෙනම් SSPගේ වැඩේට උදව්වක් අරන් රිලිස් කරලා දාන්න යනුවෙන් පවසා තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව තරුණ විධායක නිලධාරීවරයා අමතා තිබූ එම පුද්ගලයන් ඔහුට ලබා දිය හැකි මුදල් ප්‍රමාණය පිළිබඳ විමසා ඇති අතර පෞද්ගලික බංකුවක රුපියල් හාර ලක්ෂ පනස්දහසක ස්ථාවර තැන්පතුවෙන් රුපියල් 360000/= මුදලක් පමණක් ගත හැකි බවත් එය ලබාදීමට හැකියාවක් තිබෙන බවත් පැවසීමෙන් අනතුරුව හොරණ නගරයට පැමිණ බැංකුවෙන් එම මුදල ලබා දුන් බව විධායක නිලධාරීවරයා සිදුකළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ
තමන් විභාග දෙපාර්තමේන්තුවේ සිට තලවතුගොඩ හරහා මොරගහහේන දෙසට පැමිණීමේදී කළු පාටට හුරු මෝටර් රථයක් තමන්ගේ පිටුපසින් පැමිණි බවට හා එම මෝටර් රථය හොරණ නගරයේ ද තිබුණු බවට මතකයේ ඇතැයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.