වැටලීමකදී පොලිස් භාරයට ගත් විදේශීය දුම්වැටි තොගයෙන් අඩක් බාහිර පාර්ශ්වයකට ලබා දී අසත්‍ය සටහන් තොරතුරු සටහන් පොතේ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත වරාය උප ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයෙකුගේ රාජකාරි වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේය.
වැඩ තහනමට ලක් කරන ලද කොස්තාපල්වරයාට ලද තොරතුරකට අනුව වැඩ තහනමට ලක් කරන ලද ස්ථානාධිපතිවරයා වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් මස 20 වැනි දින විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි කාටුන් 290 ක් සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලීසිය කියයි.
එම දුම්වැටි කාටුන් තොගයෙන් කාටූන් 150 ක් පමණ ප්‍රමාණයක් නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර ඉතිරි දුම් වැටි කාටුන් 140 ක ප්‍රමාණය බාහිර පාර්ශ්වයක් වෙත ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම නිලධාරීන් සිදුකළ වැටලීම ඉකුත් මස 19 වැනි දින සිදුකර ඇති අතර ඒ සම්බන්ධව එදින කිසිදු සටහනක් ඇතුළත් නොකර එම වැටලීම 20 වැනි දින සිදුකළ බවට අසත්‍ය සටහන් තොරතුරු සටහන් පොතේ ඇතුළත් කර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. මෙම නිලධාරීන් දෙදෙනා සිදු කළ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ , නියෝජ්‍ය අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් වැඩ තහනම සිදුකර ඇත.