පොලිස් නිලධාරීන්ගේ මෙන්ම නිළ ඇඳුමේ ගෞරවයද කෙලෙසන ආකාරයෙන් පිළියන්දල පොලිසිය වෙත පැමිණි සියලුම තරාතිරමේ නිලධාරීන් ට බැන වැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (6දා) කැඳවා පැය 7 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අද පෙරවරු 9.30 සිට පස්වරු 4 දක්වා සහකාර පොලිස් අධිකාරීවරයා ගෙන් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගෙන තිබිණි.
ඇසළ පොහෝ දින පිලියන්දල පොලිසිය වෙත පැමිණ තිබූ සහකාර පොලිස් අධිකාරීවරයා ඔහු දන්නා හඳුනන කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් කඩිනමින් විභාග නොකලැයි ආවේගශීලීව එම අවස්ථාවේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැන වැදී පොලිස් භූමිය තුළ ඒ මේ අත ඇවිදිමින් පැයකට අධික කාලයක් ගත කර තිබිණි.
ව්‍යාපාරික කටයුත්තක දී ඇති වූ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයාගේ සමග පැමිණි කාන්තාව ඉකුත් 2 වෙනි දින පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ අතර ඊට සම්බන්ධ වගඋත්තරකාර පාර්ශ්වය පැය විසිහතරක් යාමට මත්තෙන් පොලිසිය වෙත කැඳවා කඩිනමින් විභාග නොකළ බවට සහකාර පොලිස් අධිකාරීවරයා එහි සිටි පොලිස් නිලධාරීන්ට ඉතාමත් පහත් ආකාරයෙන් මෙන්ම උසස් පොලිස් නිලධාරියෙකුට සුදුසු නොවන ආකාරයෙන් බැන වදිමින් ආවේගශීලීව හැසිරී තිබිණි.
පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය මෙන්ම පොලිස් නිළධාරීන්ගේ නිල ඇඳුමේ ගෞරවයටද හානිදායක ලෙස විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සහකාර පොලිස් අධිකාරීවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් විවිධ අවශ්‍යතා සඳහා එම අවස්ථාවේදී පොලීසියට පැමිණ සිටි විශාල ජනතාවක් මෙන්ම මාර්ගයේ ගමන් ගත් ජනතාවද දැඩි පිළිකුලෙන් හෙළා දකින්නට වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් පිලියන්දල පොලිසිය මගින් උසස් නිලධාරීන්ට වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඊට පසු දින(5) පිලියන්දල පොලිසිය වෙත පැමිණ තිබූ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති , චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරිවරයා සෘජුව ම බැන වැදුණු බව කියන විවිධ පැමිණිලි අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස එදින කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන තිබිණි.
ඊට අමතරව සහකාර පොලිස් අධිකාරිවරයා සේවය කරන ප්‍රජා පොලිස් ඒකකයේ අධ්යක්ෂවරයාගෙන් මෙන්ම ස්ථානාධිපතිවරයාගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.
පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි. එස්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.