ලොව රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33 කු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව පොලිසිය කියයි.
සැකකරුවන් සහ සැකකාරියන් සමඟ මහා පරිමාණ මූල්‍ය වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන 109 ක් පරිගණක 46 ක් හා ලැෆ් ටොෆ් පරිගණක 3 ක් පොලිස් භාරයට ගෙන ඇත.
එම සැකකරුවන් සහ සැකකාරියන් අතර පාකිස්ථාන ඇල්ජීරියා නේපාල් ඉන්දුනීසියා හා ශ්‍රී ලාංකිකයන් ද වන බව පොලිසිය සඳහන් කරයි.
නාඳුනන පුද්ගලයෙකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත් අතර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ සඳහා ලයික් හා කමෙන්ට් දැමීමෙන් මුදල් ඉපැයිය හැකි බවට එම සමූහය මගින් දැනුම්දුන් බවත් එලෙස ලයික් සහ කමෙන්ට් කිරීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදී තමන්ට රුපියල් 750 බැගින් මුදල් ලැබුණු බව ඉකුත් 13 වෙනි දින කාන්තාවක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි කර තිබිණි.
වැඩිදුරටත් මුදල් ඉපැයීමට අවශ්‍යනම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයකට එක්ව මුදල් ආයෝජනය කරන ලෙස අදාල සමූහය මගින් තමන්ට දැනුම් දුන් බවත්ඒ අනුව මුදල් ආයෝජනය කළද,ඊට අදාළ ලාභය ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ සමූහයේ ඇඩ්මින්වරයා පැමිණිලිකාර කාන්තාවට පවසා ඇත්තේ, එම මුදල් ලබාගැනීමට නම් බැංකු ගිණුමක් වෙත මුදලක් බැර කරන ලෙසයි.
ඒ අනුව පැමිණිලිකාර කාන්තාව රුපියල් ලක්ෂ 54ක මුදලක් අවස්ථා කිහිපයකදී එම බැංකු ගිණුම වෙත බැර කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහෙත් පොරොන්දු වූ පරිදි ලාභ නොගෙවීම හේතුවෙන් ඇය ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක දෙක මූල්‍ය විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර තිබිණි.
ඒ අනුව, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත, විමර්ශන ආරම්භ කරමුදල් යොමුකළ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගත් අතර එම ගිණුම් හිමි පියපුතු යුවලක් පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, තමන්ද අදාළ වංචාවට හසුව ඇති අතර ජාවාරම්කරුවන්ගේ දැනුම්දීම පරිදි බැංකු ගිණුම් දෙක ආරම්භ කළ බවයි.
වැඩිදුර විමර්ශනයේදී අදාළ බැංකු ගිණුම් මගින් ඔන්ලයින් හරහා ලබාදී තිබූ පීසා ඇණවුමක් පිළිබඳ විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබූ අතර එම පීසා ඇනවුම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකට ලබාදුන් බවට විමර්ශන නිලධාරීන්ට අනාවරණ හැකි වී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව විමර්ශන නිලධාරීන් පෙරේදා 24 රාත්‍රියේ අදාළ නිවස වටලනු ලැබුවා.
එහිදී මෙම ඔන්ලයින් ජාවාරම සිදුකරන කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළුව පුද්ගලයන් 14ක් අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් එහි තිබී ජාවාරම සිදුකිරීම සඳහා සහ පරිගණක සිය භාරයට ගනු ලැබූ බව පොලිසිය කියයි.
එම සැකකරුවන්ගේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව විමර්ශන නිලධාරීන් මීගමුව පොරතොට ප්‍රදේශයේ පිහිටි තවත් සුඛෝපභෝගී නිවසක් වටලා පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එහි තිබී ද ජංගම දුරකතන හා පරිගණක යන්ත්‍ර සිය භාරයට ගත්තා. එමෙන්ම මොවුන්ගේ ශාඛා ඩුබායි හා ඇෆ්ගන් රාජ්‍යයන්වලද පිහිටා ඇති බවත් අනාවරණ වී තිබෙනවා.
විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මෙම ජාලයට සම්බන්ධ පුද්ගලයන් එක් එක් ශාඛාවන්ට ස්ථානමාරුවීම්ද ලබන අතර මෙය ශ්‍රී ලාංකිකකයන් සයිබර් වහලුන් ලෙස යොදාගනිමින් මියන්මාරයේදී සිදුකරන ජාවාරමට සමාන එකක් බවයි.