පිරිමි වෙස් ගෙන හොරයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු හැඩි දැඩි කාන්තාවක් රුපියල් ලක්ෂ දෙකකට අධික මත්කුඩු තොගයක් සමග ගල්කිස්ස පොලිසිය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
එම සැකකාරිය සමග ඇය පදවාගෙන පැමිණි තීරෝද රථය සහ සන්තකයේ තිබී මත්කුඩු මිලිගෑම් 9050 ක් ජාවාරමෙන් උපයා ගත් රුපියල් 23000/= මුදලක් ඩොලර් නෝට්ටු 100 ක් හා ඒ ටීම් එම් කාඩ්පත් කිහිපයක්, ජාවාරම සඳහා යොදා ගත් ජංගම දුරකථන 3 ක් පොලිස් භාරයට ගෙන ඇත
ප්‍රංශයේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ කුඩු අංජුගේ මත්කුඩු සැකකාරිය මෙලෙස බෙදා හැර ඇති පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ රථවාන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ එම් ඕ ටි අධිකාරි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව සැකකටයුතු වාහන පරික්ෂාවේ යෙදී සිටියදී සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් මැලිබන් හන්දිය ආසන්නයේ ඊයේ (22) අලුයම 1ට රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී මොරටුව දෙස සිට පැමිණි තීරෝද රථයක් පසුපස හඹා ගොස් නවතා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටීමේදී කාන්තාවගේ රුවක් සහ නමක් තිබෙන බලපත්‍රයක් පොලිස් නිලධාරීන් වෙත රියදුරු ලෙස සිටි පුද්ගලයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී, කොණ්ඩය කොටටම කපා වර්ණ ගන්වා සිටි කාන්තාව ශරීරයේ සැමතැනම පච්චා කොටා තිබූ බව පොලිසිය කියයි
අනතුරුව පොලිස් කොස්තාපල්වරියක් ලවා සැකකාරිය පරික්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී මත්කුඩු තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
බඩෝ විට පදිංචි 28 හැවිරිදි තැනැත්තියක් වන සැකකාරිය 2016 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම වෙස් වලාගෙන සිදුකර ඇති බවත් කිසිදු අවස්ථාවක පොලිස් අත්අඩංගුවට පත් වී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය