කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපයු බව කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තිය වසර ගණනාවක් පුරා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පවත්වමින් ගනුදෙනු කර ඇතැයි රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවේ අද (21) පැවසීය.
කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙක නඩුවක විත්තිකරුවකු වන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රුපියල් කෝටියක මුදලක් ඇයට දීම, ඇගේ නමින් ලියාපදිංචි බි.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර්රථය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ ගාල්කර තිබීම සහ අදාළ රථයට පියුමි හංසමාලී විසින් රුපියල් මිලියන විස්සක ලිසීන් පහසුකමක් ලබාගෙන තිබීම යන කරුණු මත ඇය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් උද්ගත වී ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාරිභෝගිකයින් 34,786 කට ක්‍රීම් වර්ග විකුණා ඇති හංසමාලි සැබැවින්ම අලෙවි කරන ලද්දේ ක්‍රීම් වර්ගද නැත්නම් වෙනයම් දෙයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ යැයිද සම්පත් රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසීය.
තමන්ගේ ක්‍රීම් වර්ග මිලට ගන්නා ගණුදෙනුකරුවන්ගේ ප්‍රකාශ ලබා ගනිමින් තම ව්‍යාපාරයන්ට බාධා කරන බව පවසමින් පියුමි හංසමාලී නමැතත්තිය ගොනු කළ මෝෂමක් කැඳවූ අවස්ථාවේදී එසේ පැවසීය.
නඩුව කැඳව අවස්ථාවේදී පියුමි හංසමාලී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ මහතා කරුණු දක්වමින් තම සේවාදායිකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් බරපතළ අපරාධයක් කරමින් සිටින්නේ යැයි කීය.
අධිකරණ බලය අයුතු ලෙස භාවිතා කරන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය අධිකරණ නියෝග ලබාගෙන, එම නියෝගය අයුතු ලෙස භාවිතා කරමින් තම සේවාදායිකාවගේ මානව අයිතීන් සහ සියලු වරප්‍රසාද උල්ලංඝනය කරමින් ව්‍යාපාරය යළි නගා සිටුවීම නොහැකි තත්ත්වයට පත් කරමින් සිටින බවද පැවසු නීතීඥ සුමුදු හේවගේ මහතා එම අසාධාරණ විමර්ශනවල උච්චතම අවස්ථාව ඊයේ (20) පුවත්පත් දෙස බැලූ විට පෙනී යන බවද, එම පුවත්පත් වාර්තා අනුව තම සේවාදායිකාව අඩු මිලට ක්‍රීම් ලබාගෙන වැඩි මිලට විකුණන බවට ප්‍රචාරය කර ඇති බවද පෙන්වා දුන්නේය.
වැඩි මිලට ක්‍රීම් වර්ග විකිණීම වරදක් නොවන බවත් එම වැරැද්ද වෙළඳ ක්ෂේත්රයට අදාළ වරදක් නොවන බවත් පෙන්වා දුන් නීතිඥවරයා ඇය අලෙවි කරන්නේ කීර්ති නාමය බවත් කීර්ති නාමය ඕනෑම මිලකට අලෙවි කළ හැකි බවත් සඳහන් කළේය.
විමර්ශන නිලධාරීන්ගේ පහත් අශාවන් ඉෂ්ඨ කර ගැනීමට විමර්ශන සිදු නොකළ යුතු බවට පූර්ව නඩු තීන්දු වලදී ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා සිවිල් ක්‍රියාකාරීයකු යැයි කියාගන්නා පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය කරන්නේ යැයිද පැවසීය.
සිවිල් ක්‍රියාකාරිකයින් මෙරට නොමැති බවත් සිටිනුයේ පක්ෂ, සංවිධානවල හෝ ජාත්‍යන්තර ආයතන වෙනුවෙන් පෙනී සිටින සිවල් ක්රියාකාරියකින් බවද පැවසූ නීතිඥවරයා මෙම විමර්ශන අනුව තම සේවාදායිකාව හැමදාම නිරූපිකාවක ලෙස සිටිය යුතු බවට අඟවන බවද ඇයට ව්‍යාපාරිකාවක් ලෙස ඉදිරියට ඒම නොකළ යුතුද? යනුවෙන් විමසා සිටියේය.
පොලිසිය සිවිල් ක්රියාකාරිකයින්ගේ අත කොලුවක් නොවී මෙම අහිංසක කාන්තාවගේ දක්ෂතා අනුව ව්‍යාපාරය නඟා සිටුවීමට ඉහළට ගෙන ඒමට අවස්ථාව ලබා දිය යුතු බවද පෙන්වා දුන්නේය. මෙලෙස ව්‍යාපාරයන්ට බාධා කිරීම මහා අපරාධයක් හෙයින් මෙය නවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
නිරූපණ ශිල්පිණියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා වසර දෙදහකට පෙර සිටි අම්බපාලි අද සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් සඳහන් කර සිටියේය.
සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙ විමර්ශන මෙහෙයවීම වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරණා මහතා කරුණු දක්වමින් පියුමි හංසමාලි නමැත්තිය සම්බන්ධයෙන් වන මෙම විමර්ශනය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තොරතුරු මත ආරම්භ කළ විමර්ශනයක් යැයි කීය.
2023 නොවැම්බර් 22 දින මත්ද්‍රව්‍ය කාර්යාංශය ඉදිරිපත් කළ වාර්තාව අනුව පියුමි හංසමාලි නමැත්තිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වන බව පැවසීය.
“කූෂ්’ සහ ‘කොකේන්’ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මොහොමඩ් සහිම් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග වසර ගණනාවක් ඇය සම්බන්ධතා පවත්වා ඇති බව සඳහන් කළේය.
ඔහු සමග මිලියන ගණනින් ගනුදෙනු කර ඇති හංසමාලිගේ බි.එම්.ඩබ්ලිව්. රථය දැනටත් ජාවාරම්කරු සන්තකයේ ඇති බවත් එම රථයට හංසමාලී මිලියන 20ක ලීසිං පහසුකමක් ලබා ගෙන ඇති බවත් සඳහන් කළේය.
එමනිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවිකර තිබුණේ සත්‍ය වශයෙන්ම ආලේපනද? එසේත් නැත්නම් කිසියම් නීතිවිරෝධී ද්‍රව්‍යයක්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට සිදුවී ඇතැයිද කියා සිටියේය.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන සඳහා පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසියට බලය ඇති බව තමන් පිළිගන්නේන් යැයිද කීය.
මේ තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඒ ඔස්සේ විමර්ශන කිරීමට වගබලා ගන්නැයි පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඇගේ ව්‍යාපාරයට හානියක් නොකිරීමට වගබලා ගත යුතු බවද පෙන්වා දුන්නේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පියුමී හංසමාලී නමැත්තිය යම් නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
සචිත්ර ගුණසේකර