තීරෝද රථය පදවමින් සිටි පියාගේ ගෙලෙහි ආදරයට එල්ලීම හේතුවෙන් දිවුලපිටිය කඩවල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කුඩා දැරියක් මිය ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ එම් ජි හාන්‍යා හෙසල් ප්‍රනාන්දු නමැති වයස අවුරුදු එකහමාරක දැරියකි.
තීරෝද රථය පැදවූ පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මිත්තනියද සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මියගිය දැරිය මිත්තණිය මව හා පියා සමග තීරෝද රථයෙන් මීගමුවට ගොස් තිබූ අතර මව රැකියාවට යාම සඳහා මීගමුවෙන් බැස ඇතැයි පොලිසිය කියයි.
මියගිය දැරිය මිත්තණිය සමඟ තීරෝද රථයේ පිටුපස අසුන්ගෙන නිවස කරා පැමිණ ඇති අතර පියා තීරෝද රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී දැරිය දිවුලපිටිය කඩවල ප්‍රදේශයේදී එකවරම පිටුපස සිට පියාගේ ගෙල බදාගෙන ඇති අතර එම අවස්ථාවේදී පියාට තීරෝද රථය පාලනය කර ගත නොහැකි වි මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් විදුලි කණුවක ගැටීමත් සමගම දැරිය ත්‍රීරෝද රථයෙන් පිටත විසි වී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරින් තුවාල ලැබූ දෙනාම මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මියගොස් ඇති අතර පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
දිවුලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අධිකාරි මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.