තැපැල් සේවකයන් විසින් ආරම්භ කරන ලද පැය 48ක වැඩවර්ජනය අද (18දා) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම ඇතුළු ගැටලු 7ක් මුල්කර ගනිමින් සිදුකරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අනුව අදාළ ගැටලුවට කෙටි කාලයක් තුළ විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එම පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
පවතින ගැටලු විසඳා ගැනීමට බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම නිසා පෙරේදා (16දා) සවස 4.00 සිට පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කළ බවද පැවසීය.
මේ අනුව මධ්‍යම තැපැල් හුවමාරුවේ පෙරේදා (16දා) සවස 4.00 සිට අද (18දා) සවස 4.00 දක්වාත්, තැපැල් කාර්යාල හා උපතැපැල් කර්යාලවල එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට අද (18දා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වාත් වැඩවර්ජනය සිදුකරන බවද සඳහන් කළේය.
ආසන්න වශයෙන් මධ්‍යම තැපැල් හුවමාරුව සඳහා දිනකට ලිපි හා පාර්සල් ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් ලැබෙන බවත්, සිදුකරන වැඩවර්ජනය නිසා මධ්‍යම තැපැල් හුවමාරුවට ලිපි හා පර්සල් භාරගැනීම් සිදුනොවන බවද පැවසීය.
මෙම වැඩවර්ජනය සඳහා ලිපි හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරන පිරිස් පවා සම්බන්ධ වී තිබෙන නිසා අදාළ කටයුතු පවා ඇනහිට තිබෙන බවද සඳහන් කළේය.
තැපැල් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළු අනෙකුත් තනතුරු වන පුරප්පාඩු 7,500ක් පවතින බවත්, මේ නිසා සේවා සැපයීමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බවද පවසා සිටියේය.