හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඒ මහතාගේ කිසිදු සහායක් නොලැබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රමින්ද්‍ර වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා) දැනුම් දුන්නේය.
තමන්ට එරෙහිව අල්ලස් කොමිසමට කර ඇති පැමිණිලි විමර්ශනය කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවින්ද වික්‍රම මහතා එසේ දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පත්මන් සුරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද වික්‍රම මහතා කරුණු දක්වමින් අල්ලස් කොමිසම පෙත්සම්කරු සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා ඔහු කිසිදු සහයෝගයක් පළ නොකරන්නේ යැයි කීය.
අල්ලස් කොමිසම පෙත්සම්කරුගෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම ඔහු ප්‍රතික්ෂේප කර ඇතැයිද, එවැනි තත්ත්වයක් යටතේ විමර්ශන කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද ශවින්ද වික්‍රම මහතා පැවසීය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට වෙනත් දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ජූනි 03 වැනිදා යළි කැඳවීමට නියම කළේය.