රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් ගණේමුල්ල කැන්දලියැද්ද පාළුව ප්‍රදේශයේ පාළු නිවසක පැවති සාදයක් වටලා මත්කුඩු පානය කරමින් සිටි තරුණ පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
රාගම පොලිසියට පෞද්ගලිකව ලද තොරතුරක් මත පොලිසිය එම නිවස වැටළූ අවස්ථාවේදී එහි තරුණ තරුණියන් 18 දෙනෙකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබූ මත්කුඩු මත්පෙති ගංජා ආදී මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
මෙම කණ්ඩායමේ තරුණයන් දහසය දෙනෙක් සහ තරුණියන් දෙදෙනකු සිටින බවත් ඔවුන් වයස අවුරුදු 15ත්19 ත් අතර කාණ්ඩයට අයත් වන බවත් පොලිසිය පැවසීය.
ඉන් එක් තරුණියකගේ පියා විදේශ ගත රැකියාවක නිරතවන අතර මව පව්ලෙන් වෙන්වී ඇතැයිද තරුණිය තනිව ජීවත්වෙන බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙම තරුණ කණ්ඩායම කොටහේන මීතොටමුල්ල දෙමටගොඩ කොළඹ ආදී ප්‍රදේශ වලින් මෙම සාදයට එක්ව ඇති අතර ඔවුන් සාදය පැවැත්වූ නිවස වටා ආරක්ෂිත තාප්ප යොදා රෝලර් ගේට්ටුවකින් ආවරණය කර පිටතින් කිසිවෙකුට නිවසට ඇතුළු වීමට නොහැකි වන අයුරින් නිවසද අගුළුදා තිබියදී රාගම පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් නිවස වැටලීම සිදුකර ඇත.
අත් අඩංගුවට ගත් තරුණ තරුණියන් 30ස් වනදා මහර අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම තරුණ තරුණියන් ගේ භාරකරුවන්ට අධිකරණයට පැමිණ දරුවන් වෙණුවෙන් ඉදිරිපත් වන ලෙසත් පොලිසිය ඔවුන්ව දැණුවත් කල බව පොලිස් නිලධාරීන් ගෙන් විමසීමේදී පැවසීය.
මෙම තරුණ තරුණියන් මුහුණු පොත හරහා හදුනාගෙන ඇති අතර දෙමාපියන් තම තරුණ දුදරුවන් ගේ හැසිරීම් පිලිබදව මීට වඩා සැළකිලිමත් විය යුතු යැයි රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා පැවසීය.