කන්තලේ , රජඇල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් වෑන් රථයක හැපී ජීවිතක්ෂයට පත්වීමත් සමඟ පලා ගිය වෑන් රථ රියදුරු විදේශීය රටකට යෑමට උදව් කළ සැකකරුගේ වැඩිමහල් සහෝදරයා ලබන මැයි තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිළිඳු සමරසිංහ මහතා පොලිසියට නියම කළේය.
මෙලෙස බන්ධනාගාර ගත වූයේ කන්තලේ රජ ඇල පාරේ පදිංචි කුරුප්පු ගෙදර සමීර මධුෂාන් නැමැති අයෙකි.බන්ධනාගාර ගත වූ සැකකරුගේ බාල සහෝදරයා වන කුරුප්පු ගෙදර තිළිණ මධුෂාන් නමැති අය පැදවූ වෑන් රථයට යට වී පාසල් සිසුවියක් මිය ගිය පසු සැකකරුට විදේශ ගතවීමට දැනට බන්ධනාගාර ගත කර සිටින වැඩිමහල් සහෝදරයා ආධාර අනුබල දී ඇති බවට පොලිසිය අධිකරණ හමුවේ පැවසීය.
සැකකාර වෑන් රථ රියදුරු සිය මවගේ අභාවය සඳහා ජපානයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනතුර සිදුවීමෙන් පසු ඔහු නැවත ජපානය බලා යෑමට බැංකොක් වෙත පලා ගොස් ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබේ.පලා යැමට උපයෝගී කරගත් මෝටර් රථයද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා