පාසල් ආරම්භ කළ පසු දිවයිනේ 1-5 ශ්‍රේණිවල ප්‍රාථමික දරුවන් ලක්ෂ 16 කගේ යකඩ ඌණතාවය දුරළීම සඳහා සබල කරණය කරන ලද පෝෂ්‍ය පදාර්ථ එක්කල පළාත් මට්ටමින් බෙදා හැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයේ ගබඩා කර තිබූ කෝටි ගණනක් වටිනා සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවට හඳුනා ගත් බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (22) ප්‍රකාශ කළේය.
මෙම ගබඩාවේ තැන්පත් කොට තිබූ සහල් වලින් සාම්පල් 1000ක් පමණ පරීක්ෂා කොට ඇති අතර ඒවා රස පරීක්ෂකවරයාට යවා ලැබුණු වාර්තාව අනුව මිනිස් පරිභෝජනය නුසුදුසු බව නිර්දේශ වීමෙන් පසුව වේයන්ගොඩ මහජන පරීක්ෂකවරුන් ඊයේ (21) එම ස්ථානයට ගොස් මෙම සහල් පාසල් වලට බෙදා හැරීම අත්හිටු වූ බවද උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
ලෝක ආහාර වැඩසටහන (WFP world food programme) අනුව දිවයිනේ පාසල් සඳහා මෙම සහල් තොග පළාත් මධ්‍යමින් බෙදා දීමට සැලසුම් ගබඩාවේ තැන්පත් කොට තිබුණි.
2022 වර්ෂයේ ඉන්දියාවේ ගොවිබිම්වලින් නෙළාගත් අස්වැන්න වන මෙම සහල් 2024 වර්ෂයේ මැයි මස වනතුරු පරිභෝජනයට සුදුසු බව එම සහල් මළුවල සඳහන් වෙයි.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන්ට වේයන්ගොඩ ගබඩාවෙන් මෙම සහල් තොග බෙදා හැරීම පසුගිය සිකුරාදා,( 19 )දින සිට සිදුකර තිබේ. බස්නාහිර පළාතේ අධ්‍යාපන නිලධාරීන් පෙරේදා (21)තමන්ට හිමි සහල් තොග රැගෙන යෑම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම සහල් පරිභෝජනයට නුසුදුසු බවටත් දරුවන්ට ලබා දීමට එම සහල් භාර නොගන්නා ලෙසත් බස්නාහිර පළාත් අධ්‍යාපන වැඩ බලන ලේකම් නියෝගයක් නිකුත් කොට තිබූ නිසා ඔවුන් සහල් භාර ගැනීම ප්‍රතික්ෂේප කොට ආපසු ගොස් තිබේ.
ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඉන්ද්‍රාණි මල වැන්න මහත්මිය නිකුත් කරන ලද ලියවිල්ලක් හේතු කොටගෙන පළාත් අධ්‍යාපන වැඩ බලන ලේකම්වරිය බස්නාහිර පළාතේ අධ්‍යාපන බලධාරීන්ට ඉහත නියෝගය ලබාද තිබේ.
වේයන්ගොඩ ගබඩාවේ තැන්පත් කොට තිබූ මෙම සහල් වලින් සාම්පල් රැසක් ඉකුත් පෙබරවාරි 26 වෙනි දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කළ බව සඳහන්වේ. ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයාගේ නිගමනය වී තිබුණේ කෘමි සතුන් අඩකට වඩා හානි කොට තිබූ අදාල සහල් සාම්පල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවයි.
රජයේ රස පරීක්ෂකගේ නියෝගය ලැබී සති හයක් ඉකුත්වී ගියද මෙම සහල් ගබඩාවල තැන්පත් කොට තිබී ඇත.
පරිභෝජනයට නුසුදුසු බව රසපරීක්ෂකවරයාද හෙලිකොට තිබියදී අදාළ සහල් පාසල් දරුවන්ට බෙදා දීම සඳහා නිකුත් කිරීම පිළිබඳව මව්පියෝ විමතිය පළ කරති.
මෙම සහල් අප්‍රියෙල් 22 සහ 23 දිනවල පාසල්වලට ලබා දී ඉන් පසුව අප්‍රේල් 24 වැනි දින සිට දරුවන් අතට පත් කිරීමට පාසල් විදුහල්පතිවරුන්ට උපදෙස් ලැබී තිබුණි.
මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත්මෙෙසේ ප්‍රකාශ කළේය.
"ලෝක ආහාර වැඩසටහනෙන් මින් පෙරද මෙවැනි සහල් බෙදා දී තිබුණා. මෙවර සබල කරණය කරන ලද විශේෂ සහල් තොගයක් ලැබී තිබුණේ. මෙම සහල්වල සාම්පල් රජය රස පරීක්ෂකවරයාට යවා තිබුණා. ඒ අනුව එයින් සියයට පනහක් ම ගුල්ලන් ගසා බව හෙළිවුණා .
කෝටි ගණනක් වටිනා මෙම සහල් තොග ප්‍රමිතියෙන් තොරයි. ඒ නිසා පසුගියද(21) වේයන්ගොඩ ගබඩාවට වේයන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ සහල් පරීක්ෂා කළා .ඒ අනුව සැබෑ තත්ත්වය අපට දැක ගන්න ලැබුණා. එම සහල් තාවකාලිකව බෙදා හැරීම අප අත්හිටවනු ලැබුවා.
මීට පෙරද මෙම තොග බෙදා හැර තිබෙනවා. අනුරාධපුරය ප්‍රදේශයෙන් අපට පළමු පැමිණිල්ල ලැබුණා. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කීපයකට මෙතෙක් බෙදා හරින ලද සහල් නුසුදුසු බව හෙළි වුණා."
පාසල් වලට සහල් ලැබුණත් විදුහල්පතිවරු බෙදා හැරීම නොකළ යුතුයි. එසේ කිරීමට අධ්‍යාපන බලධාරීන්ගේ නියෝගයක් ලැබී ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගෙන්වා ගෙන එම සහල් පරීක්ෂා කිරීමෙන් පසුවයි ළමයි අතරට යා යුත්තේ. එසේ නොවුනොත් ඒ පිළිබඳව ඇතිවන ගැටලුවලට විදුහල්පතිවරු වගකිය යුතුයි. අප පරික්ෂා කර සාම්පල් දහසක පමණ රස පරීක්ෂක වාර්තා ලැබිලා තියෙනවා. මේ සාම්පල් වලින් සීයට පනහකට වැඩිය කෘමි හානි සිදුවූ බවට වාර්තා වී තියෙනවා. ඒ අනුව සහල් කිසිසේත්ම පරිභෝජනයට සුදුසු නෑ.
මෙම සහල් තොග වලට සිදු කරන්නේ කුමක්ද පිළිබඳව ඉදිරි සතියේදී අපි අධ්‍යාපන සහ අදාළ බලධාරීන් එක්ක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කිරීමෙන් පසුවයි තීන්දුවක් ගත යුතුව තියෙන්නේ. ඒ නිසා මෙම සහල් බෙදා හැරීම පළාත් මට්ටමින් තාවකාලිකව නතර කර තිබෙනවා යැයි සමස්ත ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
වේයන්ගොඩ ගබඩාවේ සිට දකුණු පළාතට සහල් බෙදා හැරීම 22(ඊයේ) සහ (23) අද දිනවලදී සූදානම් කොට ඇති අතර ඒ සඳහා එම සහල් තොග පාසල්වලට පැමිණ විදුහල්පතිවරුන්ට භාරගන්නා මෙන් අධ්‍යාපන බලධාරීන්ගෙන් උපදෙස් ලැබී තිබුණි.
එහෙත් ඊයේ (22) දහවල් වන විට මෙම සහල් බෙදා හැරීම තාවකාලිකව නතර කොට ඒවා පසු දිනක බෙදා හරින දිනය දැනුම් දෙන බවට දකුණු පළාත් පෝෂණ අධ්‍යක්ෂවරිය විසින් වට්සැප් මඟින් අදාළ විදුහල්පතිවරුන්ට පණිවිඩයක් එවා තිබුණි.
කමල් ශ්‍රී ලියනගේ