පාසල් යන බව පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇඳුම් සඟවා මුහුණු පොතෙන් පමණක් හඳුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගල නගරයට පැමිණ සිටි දහසය හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන දෙමාපියන්ට බාර දුන් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින් දෛනිකව කුරුණෑගල වැව රවුමේ සිදු කරනු ලබන සෝදිසියකදී මෙම ලාබාල සිසුවියන් දෙදෙනාව ඔවුන්ගේ මුහුණු පොතේ පෙම්වතුන් සමඟ හමුවී තිබේ.
මෙයින් එක් සිසුවියක් ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ වන අතර අනෙක් සිසුවිය පොල්ගහවෙල පදිංචිකාරියකි. මොවුන් දෙදෙනාම මුහුණු පොතෙන් හඳුනාගත් 17 හැවිරිදි සහ 19 හැවිරිදි ලාබාල තරුණයන් දෙදෙනෙකු සමඟ පෙම් සබඳතාවයන් පවත්වාගෙන ගොස් තිබූ අතර පළමුවරට එකිනෙකා සියැසින් දැක හඳුනාගැනීම සඳහා මෙලෙස කුරුණෑගලට පැමිණ ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.
ඇහැටුවැව පදිංචි සිසුවිය ගල්ගමුව ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබන අතර පොල්ගහවෙල සිසුවිය පොල්ගහවෙල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබමින් සිටී. මොවුන් දෙදෙනාම එදින පාසල් යන බව දෙමාපියන්ට පවසා නිවෙස් වලින් පිටව ගොස් අතරමඟදී පාසල් නිල ඇඳුම් ගලවා වෙනත් ඇඳුමකින් සැරසී තම පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගලට පැමිණ ඇති බව පොලීසිය කියයි.
කුරුණෑගල වැව රවුමේ ගමන් කරන මහජනතාව අසීරුතාවයට පත් වන ආකාරයට ඉතාම අශෝභන ආකාරයට හැසිරෙන පෙම්වතුන් පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව සොයා බැලීම සඳහා වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාගේ මෙහෙයවීමෙන් රාජකාරියෙහි යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉතාම ලාබාල පෙනුමකින් සිටි පාසල් සිසුවියන් දෙදෙනා දැක ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. සිසුවියන් දෙදෙනාගේ පාසල් නිල ඇඳුම් ඔවුන්ගේ පාසල් බෑග් තුළ දමා තිබියදී පොලීසියට හමුවී තිබේ.
ගල්ගමුව සිසුවිගේ මුහුණු පොතේ පෙම්වතා හොරණ පදිංචිකරුවෙකු වන අතර පොල්ගහවෙල සිසුවියගේ පෙම්වතා මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මොණරාගල සිට දිගු දුරක් ගෙවාගෙන යතුරු පැදියකින් තමන් මුහුණු පොතෙන් පමණක් හඳුනාගෙන සිටින පෙම්වතිය දැක බලා ගැනීම සඳහා කුරුණෑගලට පැමිණීම විශේෂත්වයකි. තරුණයන් දෙදෙනාම ස්ථිර රැකියාවක් නොකරන අය බවද පොලීසිය පවසයි.
පොලිස් බාරයට ගත් ලාබාල පෙම්වතුන් පොලීසියට රැගෙන ගොස් ඔවුන්ට දැඩි ලෙස අවවාද කර උපදෙස් ලබාදී දෙමාපියන් ගෙන්වා සිසුවියන් දෙදෙනාව බාර දීමට කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කොබ්බෑවල මහතා පියවර ගෙන තිබුණි.
දෙමාපියන් තම දරුවන් පිලිබදව පසුවිපරම් නොකිරීම හේතුවෙන් දරුවන් මෙවැනි රහසිගත ක්‍රියාකාරකම් වලට පෙළඹෙන බවද එවැනි ක්‍රියාකාරකම් වලින් අමාරුවේ වැටීමට පෙර දරුවන් පිළිබඳව අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවද වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සඳහන් කළේය .