මෙවර පාර්ලිමේන්තුව සඳහා සියලුම පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වූ කාන්තාවන්ගෙන් 21දෙනෙකු ජයග්‍රහණය කර තිබේ. එම කාන්තාවන් 21දෙනාගෙන් 19දෙනෙකුම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත. එමෙන්ම ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන්ද එක් මන්ත්‍රීවරියක් පත් කර ඇත. ඒ අනුව සමස්ත මන්ත්‍රීවරියන් ප්‍රමාණය 22කි.
ඒ අතරින් වැඩිම මනාප ලබා ගෙන ඇත්තේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියයි. ඒ අනුව ඇය කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 655,289ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ. ඒ අතර සිටින ලාබාලතම කාන්තාව වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ හසාරා ලියනගේ වේ. 1995 වසරේ උපන් ඇය නීතිඥවරියකි.
ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් විධායක සභාවේ සභිකයෙක් වන ඇය තාරුණය සවිබල ගැන්වීම වෙනුවෙන් මැදිහත් වී තිබේ. පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් තමන් ජාතික ජන බලවේගය සමග එකතු වූ බව ඇය පවසයි. ඇය මනාප 82,058ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිකර ගෙන සිටියි. ඒ අනුව ඇය මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරද ලාබාලතම මන්ත්‍රීවරිය වේ.
මාතර දිස්ත්‍රික්කයෙන් දෙවන තැනටත්, සමස්ත කාන්තා මනාප ලැයිස්තුවේ දෙවන තැනත් හිමිකර ගෙන සිටින්නේ මනාප 148,379ක් ලබාගත් සරෝජනී පෝල්රාජ්ය. ජාතික ජන බලවේගයේ කාන්තාවන් අතරින් කළුතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට හා කාන්තාවන් අතර තෙවන තැනට මනාප ලබා ගෙන සිටින්නේ නිලන්ති කොට්ටහච්චිය. ඇය ලබාගත් මනාප ප්‍රමාණය 131,375කි.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් කාන්තා නියෝජනයක් ලෙස නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර පත් කර ඇත. තවද කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ, හේමාලි සුජීවා, මුතුමැණිකේ රත්වත්තේ, ගීතා හේරත්, නිලූෂා ගමගේ, සාගරිකා අතාවුද, හිරුණි විජේසිංහ, අනුෂිකා තිලකරත්න, ඔෂානි උමංගා, චන්දිමා හෙට්ටිආරච්චි, තුෂාරි ජයසිංහ, චතුරි ගංගානි, දීප්ති වාසලගේ, අම්බිකා සැමුවෙල් යන අය පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.
සමගි ජනබලවේගයෙන් චමින්ද්‍රානි කිරිඇල්ල හා රෝහිණි කවිරත්න පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.