පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සඳහා පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රු.10කින් අඩු කිරීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා යන සමාගම් එකඟතාව පළකර තිබේ.
ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහායක් වෙමින්, අදාළ සමාගම් වෙළෙඳ අමාත්‍යංශය සමග සහයෝගීතාවකට එළැඹෙමින් අද (18දා) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩු කිරීම සිදුකර ඇති බව නිවේදනය කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගමේ සන්නාම සහ සමාගම් සන්නිවේදන අධ්යක්ෂ කාලිංග විජේසේකර මහතා,
"2024 වසරේදී මූලික වශයෙන් අපි පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රු.10කින් අඩු කළා. කලින් අඩු කිරීම පාන් මිල අඩු කිරීමට හේතු නොවූවත්, ආයතන දෙකම දැන් කිලෝග්රෑමයකට රු.10ක අමතර අඩු කිරීමක් සඳහා පියවර ගෙන තිබෙනවා. මේ සමග සමස්ත මිල අඩු කිරීම කිලෝග්රෑමයකට රු.20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ නවතම මිල අඩු කිරීම පිළිබඳ අප වෙළෙඳ අමාත්‍යවරයාට දැනුම්දී ඇති අතර, බේකරි සංගමය මෙම මිල අඩු කිරීමේ ප්‍රතිලාභය පාන් සහ අනෙකුත් බේකරි භාණ්ඩවල අඩුකළ මිල ගණන් හරහා සාමාන්‍ය පාරිභෝගිකයන්ට ලබාදෙනු ඇතැයි අප අවංකවම විශ්වාස කරනවා." යැයි පවසා සිටියේය.