සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වැල්ලම්පිටියේ ධනුෂ්කගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු ඇතුළු දෙදෙනෙකු අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දහ හත් දහස් හයසිය දහ අටක් ,මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් රුපියල් හතලිස් හත් දහස් එකසිය පනහක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ආනන්දාරාම පාරේ පදිංචි "පාන් අනුර " (64) සහ තවත් පුද්ගලයෙකු (60) බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් වැල්ලම්පිටියේ "පාන් අනුරගේ" පුත්‍රයාට , ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මීට දින කිහිපයකට පෙර මෙරටට රැගෙන ආ වැල්ලම්පිටියේ චන්දනගේ මෙහෙයවීමෙන් උමගලිය ක්‍රීඩාංගනය අසලදී 2023 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔවුන් පදිංචි නිවසට ගිය අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සමඟ මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පැවසේ.
එම අවස්ථාවේදී සැකකරුගේ නිවසට ඇතුළුවීම සඳහා නිවස පිටුපස ඉදිකර ඇති රහසිගත දොරකින් ගමන් මල්ලක්ද සහිතව ඇතුළු වූ පුද්ගලයකු (60) පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ අයිස් මිලිග්‍රෑම් 6768 මුදලින් රුපියල් 16750 ජංගම දුරකථන 02 තිබී බාරයට ගෙන තිබේ.
පසුව සැකකරු අත්අඩංගුවට ගෙන යාබද මාර්ගය ඔස්සේ ඉදිරියට එමින් සිටියදි ඉදිරියට එමින් සිටි පුද්ගලයෙකු (64) පොලිසිය දැක පලායාමට උත්සාහ දැරීමත් සමග සැකසිතී පසුපස හඹාගොස් අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 10850 , මුදලින් රුපියල් 30400 තිබී භාරයට ගත් බව පැවසේ.
පසුව සැකකරුවන් දෙදෙනා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයට රැගෙනවිත් ප්‍රශ්න කිරීමේදී එහි සිටි (64) හැවිරිදි පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලාගොස් සැගව සිටින වැල්ලම්පිටියේේ ධනුෂ්කගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් ඔහු "පාන් අනුර" නමින් හඳුන්වන අයකු බවත් පැවසේ.
පසුව සැකකරු සම්බන්ධයෙන් සැක සිතී ඔහුගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී එහි තිබී රුපියල් ලක්ෂ 14 පමණ වටිනා කැමරා තුනක්, පෞරාණික රන් ආලේපිත තැටියක්, හා තවත් රන් ආලේපිත කෝප්ප 03 පොලීසිය සොයාගෙන තිබේ.
මෙම භාණ්ඩ සැකකරුගෙන් ලබා ගන්නා මත්ද්‍රව්‍යයට හිලව් වීම සඳහා විවිධ පුද්ගලයන් ගෙනැවිත් ලබාදුන් ඒවා බවට ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා තිබේ. ඒවායේ වටිනාකම මෙතෙක් තහවුරු වී නොමැත.
අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ නිවස පිටතට නොපෙනෙන සේ අඩි 12 පමණ උසින් යුත් විශාල තාප්පයකින් වටකර ඒ තුළ නිවාස පහක් ඉදිකර ඇති බවත් නිවසේ ඉදිරිපස ගේට්ටුව වසා දමා කිසිවකුටත් නොදැනෙන සේ පිටුපස පිහිටි රහසිගත ගේට්ටුවක් භාවිතා කරමින් කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරම යහමින් කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වැල්ලම්පිටිය පොලීසියට භාර දීමට නියමිතය.
