- පානදුර - සුමිත් පොතුපිටිය
පානදුර මුහුදේ අද (12දා) සවස දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගොස් ඉන් දොළොස් දෙනෙකු බේරාගෙන ඇති බවත් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර කෙසෙල් වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටී කේසාන් සඳරුවන් (අවු.18) නමැති තරුණයකු බවට හදුනාගෙන තිබේ.
අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා තවත් මිතුරන් තිදෙනෙකු සහ ඇඹිලිපිටිය ප්රදේශයෙන් විනෝද චාරිකාවක් සඳහා පැමිණි අටදෙනෙකුද පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට ඇති බවත්, එක්වරම ඔවුන් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර උදව් ඉල්ලා කෑ ගැසීමත් සමග ක්රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් රෙස්කියු ටියුබ් රැගෙන මුහුදට පැන රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි දොළොස් දෙනෙකු බේරාගෙන ඇති බව පැවසේ.
බේරාගෙන ඇති සියලුම දෙනා වයස අවුරුදු 20 ට අඩු තරුණයන් බවත්, මුහුද රළු ස්වභාවය හේතුවෙන් මුහුදේ රතු ධජ ප්රදර්ශනය කර අවවාද නිකුත් කර තිබූ බවත් ජීවිත ආරක්ෂක නිලධාරීහු සඳහන් කරති.
ජීවිත බේරා ගැනීමට එක් වූ ජීවිත ආරක්ෂක නිලධාරීන් ද ගිලී ඇති නැවේ ගැටී සීරීම් තුවාල ලබා ඇති බවද ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
බේරාගත් එක් තරුණයකු 1990 සුවසැරිය ගෙන්වා රෝහල්ගත බවද ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.