පාතාල නායකයින්ගේ නම් පවසමින් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවි සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සමග රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් , එම ජීව උණ්ඩ 5 ක් ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් හා 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 10 ක් කප්පම් ගැනීමට යොදා ගත් ජංගම දුරකථන 7 ක් සහ සිම්පත 5 ක් ද පොලිස් භාරය ගෙන ඇත.
පෑලියගොඩ මැනීන් මාකට් වෙළඳපොලේ එලවලු ව්‍යාපාරිකයකුට සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද යනුවෙන් හඳුන්වමින් දුරකථනයෙන් ඇමතුම් ලබාදී රුපියල් ලක්ෂ 4 1/2 ක් කප්පම් මුදල් ඉල්ලා දින කීපයක් තිස්සේ මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයා විසින් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ බව පොලිසිය කියයි.
එකි පැමිණිල්ලට අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමේදී එම ඇමතුම් ලබාදුන් දුන් සිම්පත ගැටහැත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.
අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ලබාගෙන ඇමතුම් ලබා දුන් පුද්ගලයන් ස්ථානගතව තිබෙන ප්‍රදේශය හඳුනාගෙන 21දා අලුයම දෙයියන්දර ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරුවන් ගිනි අවි සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දකුණු පළාතේ ව්‍යාපාරිකයන් බියකර කප්පම් මුදල් ලබාගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දා යනුවෙන් ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් බවත් ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා දෙනියාය පොලිස් වස මේ ව්‍යාපාරිකයන් සිව් දෙනෙකුගෙන් මෙන්ම ඇල්පිටිය අකුරැස්ස හා මාවරල පොලිස් වසම් වල ව්‍යාපාරිකයන්ගෙන් ද කප්පම් මුදල් ලබාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බස්නාහිර පළාතේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද යනුවෙන් හඳුන්වමින් බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් දෙදෙනාම මීට පෙර මුදල් වංචාවන් සම්බන්ධයෙන් සිරගතව සිටි පුද්ගලයන් දෙදෙනෙක් බවත් එක් පුද්ගලයකුගේ බිරිඳ උතුරු මැද පළාතේ ගුරුවරියක් බවත් පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.
බස්නාහිර- පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රෝහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති හා මෙහෙයුම් ප්‍රධාන පොලිස් පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
